egg-price-hike

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල ඊයේ (06දා) වන විට රුපියල් 40ත් රුපියල් 43ත් දක්වා ඉහළ දොස් තිබුණි.බිත්තරයක තොග මිල රුපියල් 36ත් රුපියල් 38ත් දක්වා ඉහළ යාම නිසා බිත්තරයක සිල්ලර මිල මේ ආකාරයට ඉහළ දැමීමට සිදුව තිබෙන බවද සිල්ලර වෙළඳුන් සඳහන් කරති.පසුගිය සතියේදී ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 25ක් දක්වා පහත වැටී තිබූ අතර, පොදුවේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 30ත් රුපියල් 32 ත් අතර මිලක පැවැතිණි. මේ අනුව සතියක් ඇතුළත රු. 10 අධිකව බිත්තර මිල ඉහළ යාම ගැන බලධාර්න්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව පාරිභෝගියන් හා වෙළඳුන් පවසති.






බිත්තර මිල අඩු වීමට සාපේක්ෂව බිත්තර රොටි, බිත්තර රෝලස්, රයිස් සහ කොත්තු මිල පවා යම් මුදලකින් අඩු කිර්මට ආපන ශාලා හිමියන් කටයුතු කරනු ලැබිණි.පවතින තත්ත්වය තුළ පහත දැමූ මිල යළිත් යම් මුදලකින් වැඩි කිර්මට සිදුවන බවද ඇතැම් ආපන ශාලා හිමියෝ සඳහන් කරති.මේ අතර බිත්තර අතිරික්තයක් තිබී සති දෙකකට පසුව කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පාමින් දින 02ක සිට වෙළඳපොළේ බිත්තර මිල අතරමැදි වෙළෙන්දන් විසින් ඉහළ දමා ඇති බව කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණා සාගර මහතා ඊයේ(06දා)කුරුණෑගල පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.


බිත්තර අතිරික්තයක් වෙළඳපොළේ පැවති අවස්ථාවේදී කුඩා හා මධ්‍යම පරිමාණ ගොවීන් බිත්තර මිල පහත වැටීමත් සමග බිත්තර දැමීමට ආසන්නව සිටි කිකිළියන් විකුණා දැමූ බවත් එවැනි තත්ත්වයක් මත

මහා පරිමාණ වෙළෙඳුන් විසින් ඉල්ලුමට සැපයුමක් නොමැති බව පවසා බොරු බිත්තර හිඟයක් මවා පාමින් රජය අපහසුතාවට පත් කිරීමට සූදානම් වන බවත් ඒ මහතා කීය.


දෙසැම්බර් මාසයෙහි බිත්තර මිල ඉහළ දමා අධික ලාභ ඉපයීම සඳහා බොරු බිත්තර හිඟයක් මවා පාන බවත් දැනටමත් සත්ව ආහාර බෙහෙත් වර්ග ආදිය සඳහා පනවා ඇති බදු අඩුකර ගොවීන්ට සහන ලබාදීම සඳහා කෘෂිකර්ම හා පසු සම්පත් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇති බවත් සංජීව කරුණා සාගර මහතා වැඩිදුරටත් පැවසීය.එසේම තොග එකතු කර බෙදා හරින කිහිපදෙනෙකු විසින් බිත්තර මිල ඉහළ දමමින් තිබෙන බවත්, මේ නිසා බලධාරින්  මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවද ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.බිත්තරයක සිල්ලර මිල රුපියල් 30 සීමාවේ පැවැතියේ සතියක කාලයක් පමණක් බවත්, ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් සිදුකරන මෙම ක්‍රියාවන් නිසා බිත්තර ආශ්‍රිත ආහාර මිල පවා ඉහළ යන බවද එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේය.



බිත්තර මිල ඉහළ දමන සමහර පුද්ගලයන්ට බිත්තර නිෂ්පාදනය කරන කුඩා හෝ ගොවිපළක් නොමැති බවත්, මේ නිසා ගොවිපළ හිමියන් ඒකාබද්ධ කර ගනිමින් අඩු මිලට බිත්තර ලබා දීමට අඛණ්ඩව වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද පැවසීය. මේ වනවිට පොල් මිලද රු.150 -160 මට්ටමේ පැවතීම නිසා පාරිභෝගිකයින් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති අතර හොල් මිල මෙතරම් ඉහළ අගයක පැවතීම පාලනය කිරීමට කිසිදු වගකිවයුත්තෙක් මෙතෙක් ඉදිරිපත් නොවීම ගැනද මහජනයා සිය අප්‍රසාදය පළකර සිටිති.

(ඉන්දික හේවාවිතාරණ)