ekanayake-body

 එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක , අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා නිවෙසේ නාන කාමරයේ වැටී ඊයේ (10දා) ජීව්තක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර පොලිසිය පවසයි.අංක 224, පැරණි පුත්තලම පාර, තිසා වැව ලිපිනයේ සිය නිවෙසේ පදිංචිව සිටි ඒකනායක මහතා මිය යන විට, 76 වන වියේ පසුවිය.




ඒකනායක මහතාගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජීවිතක්ෂයට පත් වූ හිටපු අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදු වන අවස්ථාවේ දී ඒකනායක මහතා පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.


මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට නියෝග කළේය.




පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කරනු ලැබීය.එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඒකනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද  ඒකනායක  මහතා කටයුතු කළේය.
( බී.ජී. චතුරංග)