election-commision-president

 පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දී ඇති දී නියෝගය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.


එම ව්‍යාපෘති ආරම්භ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යන පදනමේ සිට මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා තිබේ.පළාත් ආණ්ඩුකාරධුරය යනු දේශපාලන පත්වීමක් වීම එයට හේතුවක් වී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අක්‍රීය වී ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාකාරකම් එහි සම සභාපතීත්වය දරන පළාත් ආණ්ඩුකාරවරුන් යටතේ අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට

දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබිණි.


2024 වසරේ අයවැයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති මෙහෙයැවීම, අධීක්‍ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට පැවැරී තිබූ බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රීය වීම

හේතුවෙන් එම ව්‍යාපෘති ද අතරමග නැවතී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබිණි.




මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන්නයැයි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා යැවූ ලිපියෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබූ අතර එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කර එහි ප්‍රතිලාභ මහ ජනතාවට දිය යුතු බව එම ලිපිය මගින් පෙන්වා දී තිබිණි. දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති වලට අරමුදල් සපයා තිබුණේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කරන ලද විමධ්‍යගත අයවැයෙනි.




එම ලිපියට ප්‍රතිචාර ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ පිටපතක් සමග සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කර තිබූ අතර 2024 අයවැයෙන් මුදල් වෙන් කළ සංවර්ධන ව්‍යාපෘති මෙම වසර තුළ අවසන් වන බවට සහතික කිරීමට සුදුසු යාන්ත්‍රණයක් පළාත් ආණ්ඩුකාරවරුන් සමග එකතුවී සකස් කරන ලෙස එම ලිපියේ සඳහන් විණි.


යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර තිබුණත් මැතිවරණ කොමිසම මැදිහත් වීමෙන් පසු එම රැස්වීම් අවලංගු කර ඇති බවත් මහ මැතිවරණයෙන් පසුව මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවට දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවත් පැවැසෙයි.
(එස්. රුබතීසන් - සන්ඩේ ටයිම්ස්)