general-election

 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නියම කර ඇති නොවැම්බර් 14 වන දිනය වෙනස් වීමට ඉඩ ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.


මෙම වෙනස්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 10 වන වගන්තියට අනුව මැතිවරණ දින නියම කිරීමේදී පැන නැගී ඇති නීතිමය ගැටලුවකි.

නීති විශාරදයින්ගේ අදහස අනුව, වර්තමානයේ නියම කර ඇති දිනය පනතේ සඳහන් කාල රාමුවට අනුකූල නොවේ.
නාම යෝජනා භාරගැනීම පසුගිය ඔක්තෝබර් 4 සිට 11 දක්වා සිදු කෙරිණි. පනතේ විධිවිධාන අනුව, නාම යෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති 5 කට නොඅඩු හා සති 7 කට නොවැඩි කාලයක් තුළ ඡන්දය පැවැත්විය යුතුය. මෙම කාල සීමාව අනුව, ඡන්දය පැවැත්විය හැක්කේ නොවැම්බර් 15 සහ නොවැම්බර් 29 අතර කාලය තුළ පමණි.
"දැනට නියම කර ඇති නොවැම්බර් 14 වන දිනය මෙම නීතිමය කාල රාමුවෙන් පිටත පවතින අතර, එය ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය," යනුවෙන් නීති විශාරදයෝ අවධාරණය කරති.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම හා ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධිවිධානයන්ට පටහැණි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා (21දා) ගොනු කර තිබෙන අතර පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවද මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අතර, නීති උපදේශකයින්ගේ මතය විමසීමෙන් අනතුරුව නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය රටේ දේශපාලන වාතාවරණයට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයින් විශේෂ අවධානය යොමු කර ඇත.