රාජදූත සේවය හෙවත් තානාපති සේවය යම් රටක ජනී ජනයාගේ ස්වරූපය පිටස්තර රටවලට පෙන්වන කැඩපතක් වැන්නකි. රටේ ප්‍රෞඪත්වය උරුමය ලෝකයට පෙන්වාදෙන තානාපතිවරයා එරට වෙළෙඳ දූතයෙකු ලෙසද සේවය කරයි. බොහෝ රටවල් රාදූත සේවයට පත් කර එවන්නේ ස්ථිර විදේශ සේවයේ නිලධාරීන්ය. එහෙත් ශ්‍රී ලංකාව රාජ දූත සේවයට බඳවාගෙන එතෙර පටවන බොහෝ දෙනා සුවබර දිවියක් ගතකිරීම සඳහා පමණක් එම සේවයට බඳවා ගත් අයය. ඔවුන්ගෙන් රටට අත්වන කිසිම සේවයක් නොමැත.
මෑතක සිට හිටපු මැති ඇමතිවරුන්, ඇමති බිරියන් මැති ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ සමීප ඥාතීන්ගෙන් තනාපති කාර්යාල පුරවා තිබේ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත්තේ තානාපති කාර්යාලවලට යවා සිටින මැති ඇමැති ඥාතීන් සියලු දෙනා ආපසු කැඳවන්නටය.යාපහුවේ පළමුවැනි රජතුමාගේ බුවනෙකබාහු තානාපතිවරයකු වන අල්හාජ් අබු - උස්මාන් නමැති දූතයෙකු ක්‍රිස්තු වර්ෂ 1238 වසරේ දී මෙරටින් ඊජිප්තුවේ වාසලට යවන ලද බව ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් වේ. මෙම තානාපතිවරයා අතර රජතුමා ඊජිප්තු අධිරාජයා වෙත පණිවිඩයක් යවා ඇති අතර එහි ඇත්තේ ඉස්තරම්ම මුතු මැණික් කුරුඳු, අලි ඇතුන් ආදි වෙළෙඳ භාණ්ඩ තම රටෙන් ඊජිප්තුවට සැපයිය හැකි බවය. තානාපති සේවය රටේ ආර්ථිකය දියුණු කර ගැනීම උදෙසා අතීතයේ මෙරට සිටි රජවරුන් පවා යොදා ගත්තේ එපරිදිය. එවන් කීර්තිමත් තානාපති සේවයක් තිබූ අපේ රටේ වර්තමාන තානාපති සේවය දේශපාලන ගැත්තන්ගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නේවාසිකාගාරයක් වී පැවැතීම කොතරම් ඛේදජනක ද?
වගාව සඳහා ගෙනා ආ ලක්ෂගතව අධික රටක් නැති දෙමළ ජාතිකයන් පිරිසක් මෙරට සිටි අතර එකල දෙරටටම මේ පිරිස මහත් බරක් විය. නිතර දේශපාලන වේදිකාවේ මේ පිරිසට කළ යුතු දේ ගැන සාකච්ඡා හා වාදවිවාද ඇති විය.අවසානයේ ඉන්දියාවේ අගනුවර ලාංකික නියෝජිතයෙකු නතර කර තැබීමටත් කොළඹ ඉන්දීය නියෝජිතයෙකු නතර කිරීමටත් තීරණය විය. මෙය තානාපති සේවයේ උපතය. නවදිල්ලියේ නතර කර තැබීමට යෝජනා වූයේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාය. ඔහුගේ ඉංග්‍රීසි හා සිංහල දැනුම ද මෙම තනතුරට තෝරා ගැනීමට විශේෂයෙන්ම බලපෑවේය. ඒ වන විටත් දරමින් සිටි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී දිල්ලියේ ලංකා මහ කොමසාරිස් තනතුර බාර ගැනීමට ජයතිලක මහතා කැමැත්ත පළ කළේය. තානාපති තනතුරකට පත් වූ පළමු ලාංකිකයා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාය. උඩරට සිංහල රජ කාලයේ පටන් තනාපති දූත ගමන්වල යෙදවූ නිලධාරීන් සිටිය ද නේවාසික තානාපති සේවය ඇරඹුයේ ජයතිලක මහතා නව දිල්ලියේ තානාපති ලෙස පත් කිරීමෙන් පසුවය.
රාජදූත හෙවත් විදේශ සේවයේ තනතුරුවලට රටේ ගරු කටයුතු පුද්ගලයන් බුද්ධිමතුන් යැවීම නීතියෙන් තහනම් දෙයක් නොවේ. රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා බොහෝ රටවල් තම රටේ අයින හෙවත් ජාතික සංකේත ඒ සඳහා යොමු කරයි. එහෙත් ඒ ජාතික සංකේත මිස දේශපාලකයන්ගේ දූ පුතුන් නොවේ.
1970දී ශ්‍රීලනිප සමගි පෙරමුණ රජය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට එවැනි අවස්ථාවක් දුන්නේය. මහාචාර්යවරයා සමගි පෙරමුණට පක්ෂව දේශපාලන වේදිකාවට ගොඩවීමත් එයට හේතුවක් වන්නට ඇත. 1974දී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පත්වීමක් ලැබිණ. 1977දී මහාචාර්යවරයා ඉන් ඉල්ලා අස් වී යළි සියරට පැමිණියේය. එහෙත් විදේශ සේවයේ ලෝක දෙකක ජීවත්වන නිලධාරීන්ට දෙකොටසක් ගැන මහැදුරු සරච්චන්ද්‍රයෝ තම පිං ඇති සරසවි වරමක් දෙන්නේ ස්වචරිතාපදානයේ සටහන් කරයි. එක ලෝකයක සිටින්නේ විදේශ සේවයේ ස්ථීර නිලධාරීන්ය. අනෙක් ලෝකයේ සිටින්නේ තමන් වැනි දේශපාලන පත්වීම්ලාභීන්ය. පළමු කොටස නිරතුරුවම දෙවැනි කොටසට සතුරුකම් කරන වග මහාචාර්යවරයා තම පොතේ ලියා ඇත.එකල තානාපති කාර්යාලවල පහළ ශ්‍රේණින්ගේ වැටුප් අල්පය. ඒ ගැනද මෙවැනි සටහනක් තබා ඇත.
“තානාපති කාර්යලයෙහි වැඩකළ පහළ ශ්‍රේණිවල නිලධරයන්ගේ ජීවිතය ඉතා ශෝචනීයයි මට සිතුණි. ඔවුන්ට ලැබුණු පඩියෙන් පැරිසිය වැනි නගරයක පණ නළ ගැටගසා ගැනීම ඉතා අසීරු කාරියක් විය. පැරිසියේ කසළ ශෝධකයන්ගේ පඩි මේ අයගේ පඩිවලට වඩා ෆ්‍රෑන්ක් හාර පන්සීයයක් වැඩි බව මට දැනගන්නට ලැබිණි"
ඒ එකලය. මෙකල තානාපති කාර්යාලවලට මැති ඇමති දූ පුතුන් යැවෙන්නේ රැකියාවට නොව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසාය. ඒ සඳහා කැබිනට් අනුමැතියෙන් තානාපති කාර්යාලයන් නිල නිවාසක් ද නිල නිවසක් නොමැති නම් කුලී නිවසක වටිනාකමට සරිලන මුදලක් ද වාහනයක් ද වැටුපක් ද ලැබෙයි. බොහෝ දේශපාලකයන් හිරිමල් යොවුන් වියේ දීම තම දූ දරුවන් විදේශගත කරන්නේ එතෙර සරසවියක උසස් අධ්‍යාපනය ලබාදීම සඳහාය. ඒ සඳහා විශාල වියදමක් ද දැරීමට සිදුවෙයි. එහෙත් ඉගෙනුම ලබන අතරතුර ඉන්නට නිවසක් ගමන බිමනට වාහනයක් අතට දීමනාවක් ලැබේ නම් එරට ජීවත්වීමට එය මහත් රුකුලක් වනු නොඅනුමානය. ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තානාපති කාර්යාලයක රැකියාවක් එකී දූ පුතුන්ට ලැබෙන්නේ ඇමති පියාගේ අනුභාවයෙනි.එවැනි දූපුතුන් ගැන සෑම රජයක් යටතේම අසන්නට ලැබිණ. ඒ වරප්‍රසාදය රටේ අන් දරුවන්ට නැත.
සෝවියට් සමාජවා දී සමූහාණ්ඩු සංගමය සමග ලංකාවේ තානාපති සබඳතා ඇරඹුනේ 1957 වසරේදීය. අගමැති බණ්ඩාරනායක මහතා සෝවියට් සංගමය සහ චීනය සමග තානාපති සබඳතා ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් සෝවියට් සංගමයට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ද චීනයට ටී.බී. සුබසිංහ මහතා ද පත් කළේය. මහාචාර්ය මලලසේකරයන් තමාගේ සේවය රට වෙනුවෙන් ලබා දෙන්නට තානාපති ධුරයට අමතරව මොස්කව් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය. රුසියානු සිසුන්ට පාලි හා සංස්කෘත හා සිංහල පන්තිද ඇරඹුවේය. වසර හතරක් සෝවියට් සංගමයේ ලංකා තානාපති වූ මලලසේකර මහතා 1961දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නියෝජිතයා ලෙසද කටයුතු කළේය.
අද එවැනි පඬිවරුන් විදේශ සේවයේ දක්නට දුර්ලභය.විදේශ සේවා විභාගය සමත්වීමෙන් තොරව විදේශ දූත මණ්ඩල සඳහා දේශපාලකයන් තම හිතවතුන් සහ ඥාතීන් පත් කරන්නේ බොහෝවිට අමාත්‍ය උපදේශක සහ පරිවාර නිලධාරි තනතුරු සඳහාය. ඒ සඳහා විදේශ සේවයේ තනතුරු සඳහා සම්මත විභාග සමත්වීම අනවශ්‍යය. ලිපිකරු තනතුරු සහ අනෙකුත් අවශේෂ තනතුරු රාජ්‍ය කළමනාකාර සහකාර (ලිපිකාර සේවයේ) සේවයේ සාමාජිකයන් අතරින් පවත්වනු ලබන තරග විභාගයකින් තෝරාපත් කර ගත යුතුය. 2007 වර්ෂයේදී ප්‍රසිද්ධ දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා පැවැත්වූ තරග විභාගයකින් ලිපිකරුවන් 50ක් පත්කරගෙන ඇත. එහෙත් ඒ හා සමානම සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් විදේශ තානාපති කාර්යාලවල සේවයට යවා ඇත. දේශපාලන හිතවතුන් යවන්නේ කැබිනට් අනුමැතියෙනි. විදේශ සේවයට පත්වීම් දෙන හොර පාර මෙයයි. කැබිනට් තීරණ සියල්ල රහසිගතවන අතර සාමාන්‍ය ජනතාවට එම තීන්දු දැනගත හැකි ක්‍රමවේදයක් නොමැත. විදේශ අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකා මගින් මෙම ලැයිස්තු කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යැවෙයි.
තානාපති සේවයට පත්කර සිටින දේශපාලන ඥාතීන් ඇමති බිරියන් පුතුන් දූවරුන් ගැන හොඳම හෙළිදරව්ව කළේ : එවකට ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා 2014 අගෝස්තු මාසයේදීය. එවකට රජය හෙල්ලුම් කවමින් ජනපතිගේත් ඇමැතිවරුන්ගේත් ඥාතී සනුහරය ලොව පුරා පියාසර කරන හැටි අනුර දිසානායක මන්ත්‍රීවරයා හෙළිදරව් කරද්දී කටවාචාල මන්ත්‍රීවරයකු දෙදෙනකු බාධා කළ ද අනෙක් මැති ඇමතිවරුන් අසා සිටියේ තුෂ්නිම්භූතවය. ඔහු සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා සිටිමින් කතාව ඇරඹුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනිසි ක්‍රියාකාරීත්වය යනුවෙනි.
“ලෝකයේ රාජ්‍ය සහ අපේ රට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ජාත්‍යන්තර වශයෙන් අප මුහුණ පා සිටින අසීරුතාවන් ජයග්‍රහණය කිරීම සඳහා අප පිටත්කර හැරිය යුතු බළඇණිය තමයි අපේ විදේශ සේවය. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය. එහෙත් අද විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්වෙලා තිබෙනවා. මා ළඟ උදාහරණයක් තිබෙනවා. තානාපතිවරුන් හැටියට ඉන්නේ කවුද?
නාවලගේ බැනට් කුරේ, ශ්‍රීලිනිප හිටපු කොළොන්නාව ආසන සංවිධායකවරයා අද ඉතාලියේ තානාපති, ෆේරියල් අප්රොෆ් මැතිනිය සිංගප්පුරුවේ මහා කොමසාරිස්, ආණ්ඩුවට කරණමක් ගැසූ එජාප මහනුවර හිටපු මන්ත්‍රී ගාමිණී රාජපක්ෂ ජෝර්දානයේ තානාපති, එජාපයෙන් ශ්‍රීලනිපයට ආ දික්වැල්ල හිටපු මන්ත්‍රී එච්.ආර්. පියසිරි අද මියන්මාරයේ තානාපති. අතාවුද සෙනෙවිරත්න ඇමතිවරයාගේ පුතා බුද්ධි අතාවුද අද නෙදර්ලන්තයේ තානාපති, උදයංග වීරතුංග රුසියාවේ තානාපති. එයා ජනපතිගේ ඥාතියෙක්. මහරජාණෝ සිංදුව කියපු දියණියගේ තාත්තා ඒ.ඇස්.පී. ලියනගේ නයිජීරියාවේ තානාපති, ශ්‍රීමාල් වික්‍රමසිංහ නියෝජ්‍ය තානාපති වියාන මේ කවුද ශිරන්ති රාජපක්ෂ මැතිතුමියගේ සොහොයුරා. සී.බී. රත්නායක ඇමැතිතුමාගේ පුතා රුසියාවේ දෙවැනි ලේකම්. ලයනල් ප්‍රේමසිරි නියෝජ්‍ය මහ කොමසාරිස් කැනඩාව, මේ ගාල්ලේ හිටපු ශ්‍රීලනිප සංවිධායක හර්ෂණ හේරත් දෙවැනි ලේකම් සිංගප්පුරුව. මේ මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා චමිත්‍රි රඹුක්වැල්ල දෙවැනි ලේකම් නිවේර්ක්. මේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණිය. ලේක්හවුස් සභාපති බන්දුල පත්ම කුමාරගේ දියණිය මුතු පද්ම කුමාර දෙවැනි ලේකම් ලන්ඩනය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයාගේ පුතා නීතිඥ ඔසඳ යාපා අබේවර්ධන පළමු ලේකම් මෙල්බර්න්, ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය එම්.අයි. තුඩුවේවත්ත පළමු ලේකම් බෙයිජිං. මොකක්ද මේ විදේශ සේවය? පළාත් සභා මන්ත්‍රීකම් තමුන්නාන්සේලාගේ පුතාලට ගන්නවා වගේ. තානාපති ධුර දෙවැනි ලේකම් ධුර සඳහාත් තමුන්නාන්සේලාගේ දරුවෝයි යවා තිබෙන්නේ. තමුන්නාන්සේලාගේ දරුවෝ විතර ද දරුවෝ.. විදේශ සේවා විභාගයක් අසමත්වුණු, විභාගයක් ලියන්න බැරිවුණු, තමුන්නාන්සේලාගේ දරුවෝ ද මේ රටේ දරුවෝ..? ඒ දරුවෝ විතර ද දරුවෝ..?" අනුර දිසානායක මන්ත්‍රීවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පැවසුවේය. තානාපති කාර්යාලවල සේවය කරන දේශපාලන හිතවතුන් ගැනද අනුර දිසානායක මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේ දී දිගු හෙළිදරව්වක් කළේය. මෙරටෙන් පත් කළ තානාපතිවරුන් 49 දෙනකු සිටිනවා. එයින් 14 දෙනයි විදේශ සේවයෙන් පත් වුණේ. ඉතිරි 35 දෙනාට දේශපාලන පත්වීම් කැන්බරා තානාපති කාර්යාලයේ 20 දෙනෙක් සේවය කරනවා. එයින් එක්කෙනයි විදේශ සේවයේ ඉන්නේ. ඉතිරි 19 දෙනාම දේශපාලන පත්වීම්.....'' අනුර දිසානායක මහතා කළ දිගු කතාවට එම තොරතුරු ඇතුළත් විය. එදා එම හෙළිදරව්ව කළ ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අද මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයාය.
විදේශ සේවයට පිටස්තරින් බඳවා ගැනීම ගැන 2012 වසරේදී එජාප මන්ත්‍රීනී අනෝමා ගමගේ පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට නියෝජ්‍ය විදේශ ඇමැති නියෝමාල් පෙරේරා ලබාදුන් පිළිතුරක සඳහන් වන්නේ තුන්සිය හතර දෙනකු (304) විදේශ සේවයට බාහිරින් බඳවාගෙන ඇති බවය.2019 වසරේ දී එවකට යහපාලන රජයේ විදේශ ඇමැති තිලක් මාරපනගෙන් ජවිපෙ මන්ත්‍රී නලින් ද ජයතිස්ස විමසූ ප්‍රශ්නයකට මාරපනගේ පිළිතුරු වූයේ ගිය වසර නවයක කාලය තුළ යැවූ තානාපතිවරුන් 7 දෙනකුට තානාපති අත්දැකීම් නොමැති බවය. ඒ අතරින් දෙදෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් වූයේ උසස් පෙළ සාමාර්ථය පමණක් බව ද ඇමැති මාරපන සඳහන් කළේය.
2015 ජනවාරි 25 වැනිදා එවකට රජයේ නියෝජ්‍ය විදේශ ඇමැති අජිත් පී. පෙරේරා පැවසුවේ රාජාපක්ෂ පාලනය විසින් පත්වීම් දුන් හමුදා නිලධාරීන් ඇතුළු දේශපාලන පත්වීම් යටතේ විදේශ තානාපති සේවයේ නිරත සියලු දෙනා ආපසු කැඳවන බවය. ඒ යහපාලන රජය බලයට පත් අලුතය. ඒ වනවිට තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් 29 දෙනකු ආපසු කැඳවා ඇති බව ද ඔහු කීවේය. හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයන් මේ අතර සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. විදේශ සේවයෙන් පරිබාහිර විශේෂඥයන්ට සහ විද්වතුන්ට තානාපති සේවයේ තනතුරුවලින් සියයට තිහක් පිරිනැමීම මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්තිය බවද ඔහු පැවසීය. විදේශ සේවයට දේශපාලන පත්වීම් කිසිවක් නොකළ යුතු යැයි තම රජයේ අදහස බවද ඔහු කියා සිටියේය. 2019 වසරේ තානාති කාර්යාල නඩත්තුවට ඩොලර් මිලියන 59ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වැය කරන ලදි. එම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මැති ඇමැති දරුවන් බිරියන් ඥාතීන් වෙනුවෙන් වැය වූ බවත් එමගින් රටට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බවත් අපට පිළිගැනීමට සිදුවෙයි.
දැඩි පාලකයකු ලෙස ප්‍රකට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ තානාපති කාර්යාලවල දෙවැනි හා තෙවැනි ලේකම් තනතුරු සඳහා දේශපාලන පත්වීම් ගණනාවක් සිදුවිය. විදේශ සේවයේ පිරිහීම ආරම්භ වූයේ එකලය. පිරිහීම පසු කාලීනව වේගවත් විය. ජනාධිපති ප්‍රේමදාස පාලන සමයේ ඔහුගේ බිරියගේ සහෝදරයා භද්‍රපාල වික්‍රමතුංග ස්වීඩනයේ තානාපති ලෙස පත් කෙරිණි.ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස වැඩ භාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රෝහිත බෝගොල්ලාගම පත් කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ විදේශ ඇමැති ලෙස කටයුතු කළේ රෝහිත බෝගොල්ලාගමය.
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලය
තුළ රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් ගණනාවකට තානාපති කාර්යාලවල රැකියා ලබා දුන්නේය. හිටපු රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ පුත්‍රයා වන කසුන් ද සිල්වා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ක්ලාක් ඇසින්ස්ටන්ට් තනතුරට පත් කෙරුණේ.2022 වසරේදීය. ගෝඨාභයගේ රජය සමයේ එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකගේ දියණියට ද විදේශ සේවයේ පත්වීමක් හිමිවිය. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ගේ පාලන සමයේ තානාපති කාර්යාවල සේවයට යවන ලද මැති ඇමැති දූ පුතුන් සොයුරු සොයුරියන් සහ බිරියන්ගේ නාම ලේඛනයෙන් කොටසක් මෙසේය.
වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් වන තනික දිසානායක හිටපු ඇමැති එස්.බී. දිසානායකගේ පුත්‍රයාය. හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය වන ඉන්දීවරී කුලරත්න එහි ලිපිකාරිණියකි. පොදු පෙරමුණු රජයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන නාවලගේ බැනට් කුරේ පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාය. ඔහු එයට පෙර ඉතාලියේ ලංකා තානාපති ලෙස කටයුතු කළේය. සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රීමාල් වික්‍රමසිංහ ශිරන්ති වික්‍රමසිංහගේ සොහොයුරාය. ප්‍රංශයේ පැරිස්නුවර දූත මණ්ඩලයේ තුන්වැනි ලේකම් හිටපු ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාය. එජාපයේ හිටපු මන්ත්‍රීවරයකු වන සන්දිත් සමරසිංහ මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල්වරයාය. කෙන්යාවේ නයිරෝබි නුවර ලංකා තානාපති වන වේලුපිල්ලේ කනනාතන් රාජපක්ෂවරුන්ගේ සමීප හිතවතෙකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති දෙවොල වැඳපුදා ගැනීම සඳහා ජෙට් යානයක් ගෙන ආවේ ඔහුය. මේ දැනට හෙළිදරව්වි ඇති මැති ඇමැති නෑසියන්ගේ විස්තරයය. හෙළිදරව් නොවූ තවත් බොහෝ දෙනා විදේශ සේවයේ සිටිනවා වෙන්නට පුළුවන. නව ජනපතිවරයාගේ නියෝගයෙන් ආපසු කැඳවන්නන් ඒ සියලු දේශපාලන නෑ හිතවතුන්ය.
ප්‍රේමකීර්ති රණතුංග
0 Comments