පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඒ.එස්.ජේ. ද අල්විස් වාර්තාවේ කිසිදු විනිවිද බවක් හෝ සාධාරණ බවක් නොදකින බවත් එවැනි විනිවිද බවකින් සහසාධාරණත්වයකින් තොර පරිසරයක් තුළ ලියැවී ඇති කමිටු වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) පැවසූහ.මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමා එම නිවේදනය ප්‍රකාශයට ප්‍රකාශයට පත් කළේය.
කාදිනල්තුමා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ. මෙම වාර්තාවේ අන්තර්ගතය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලද බුද්ධි තොරතුර පිළිබඳව වගකීම් විරහිතව ක්‍රියා කළ නිලධාරීන් කිහිපදෙනකු විමර්ශනයන් සහ සහ කමිටුවේ නිර්දේශයන්ය. මේ මේ කරුණ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් ද අදාළ පුද්ගලයන් ගණනාවකගේ සාක්ෂි කැඳවා ඒවා පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අදාළ නිලධාරීන් ගණනාවකට විරුද්ධව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව දැන් බොහෝ දෙනකු දන්නා කරුණකි.
ඒ.එස්.ජේ. ද අල්විස් කමිටුව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති නිලධාරීන් බොහෝ දෙනකු, ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති නිලධාරීන්මය. එහෙත්, අපරාධ විමර්ශන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති, රාජ්‍ය ආරක්ෂාව සහ සාමය අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රවි සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහත්වරුන් පිළිබඳ විමර්ශන සහ නිර්දේශ මේ කමිටුව විසින් තම වාර්තාවට එක් කර ඇත.
ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ද රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් කැඳවා, ඔවුන්ගෙන් සාක්ෂි විමසා ඒ සාක්ෂි විමර්ශනය කර තිබුණ ද, වගකීම් පැහැර හැරීමේ චෝදනා සහ නිර්දේශ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර නැති බවද මෙහිලා සඳහන් කළ යුතුය.
මේ නයින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ කාරණය පිළිබඳව විමර්ශනය කර ඉදිරිපත් කර තිබූ එකම නිර්දේශයක්වත් ක්‍රියාත්මක කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ හිටපු ජනාධිපතිවරයා විසින් ඒ සඳහාම තවත් අලුත් කමිටුවක් පත් කිරීමේ එකම පරමාර්ථය
වූයේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනාගේම නම් මේ ලැයිස්තුවට ඇතුළත් කර ඔවුන්ට විරුද්ධව දේශපාලනික පලිගැනීමක් කිරීමදෝ යැයි අපට සැකයක් ඇත.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මාස 18 ක් විමර්ශන සිදු කළේය. එහෙත්, ජයිකි ද අල්විස් කමිටුව සියලු විමර්ශන මාස 3 කින් නිමා කර තිබේ.ජනාධිපතිවරණයට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාව දීමට ජයිකි ද අල්විස් කමිටුවට තිබූ හදිසිය සහ උනන්දුව මෙයින් පෙනී යයි. සාක්ෂිකරුවන් කිසිවකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කිසිදු නීතිඥයකුට ඉඩ දී නැත. සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිදු නීතිඥවරයකුට අවසර දී නැත.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී කතෝලික සභාව නියෝජනය කිරීමට නීතිඥවරුනට අවස්ථාව දී තිබුණ ද, ජයිකි ද අල්විස් කමිටුව ඒ අවස්ථාව අපට නොදුන්නේය. මෙම කමිටු ක්‍රියාකාරකම් පොදු ජනතාවට හෝ ජනමාධ්‍යයට
විවෘත කර නොතිබිණි. එය දොරගුලු දැමූ කුටියක් තුළ සිදු වූ විමර්ශනයක් බඳුවිය.සියලු කාරණා දෙස බලද්දී ජයකි ද අල්විස් කොමිටියේ කිසිදු විනිවිද බවක් හෝ සාධාරණ බවක් කිසිදු ලෙසකින් අපි නොදකිමු. එවන් විනිවිද බවකින් සහ සාධාරණත්වයකින් තොර පරිසරයක් තුළ ලියැවී ඇති මෙම කමිටු වාර්තාව අපි පිළි නොගන්නා අතර එය තරයේ ප්‍රතික්ෂේප කරමු. ජයකි ද අල්විස් හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ කමිටුවේ ප්රධානත්වයට පත් කිරීම ද එක්තරා ආකාරයකින් ගැටලු මතු කරන කාරණයකි.
ජයනි ද අල්විස් විනිසුරුවරිය යනු එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද අල්විස් මහතාගේ සොහොයුරියයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ නොමග යවන්නට කටයුතු කළ බවට ඔහුට විරුද්ධව චෝදනා නැගී ඇති අතර, ඒ පිළිබඳව හේතූ දැක්වීමට අපොහොසත් වීම
හේතුවෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින්
පොලිස්පතිවරයාට ලිපියක් යවමින්, දෙපාර්තමේන්තු නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න අල්විස් මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිට ඇති අතර, සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම යටතේ ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරිය හැකි ද යන්න පිළිබඳවම සොයා බලන මෙන් සෙනෙවිරත්න මහතා නීතිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ.
ඒ කිසිවක් මේ දක්වාම ක්‍රියාත්මක වූ බවට තොරතුරු නැත.පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකිරීමේ වගකීම වත්මන් රජය විසින් පවරා ඇත්තේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනා වෙතය. එපමණක් නොව, දැනට ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු දේශපාලන යට ගසා ඝාතන ගණනාවක විමර්ශන කටයුතු නැවත ආරම්භ කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ මූලික වගකීම් පවරා ඇත්තේ ද නිලධාරීන් දෙදෙනාටය.
මෙවැනි ඝාතන තත්වයක් තුළ, විමර්ශනයන්හිදී සාක්ෂි වසන් කිරීම හා විභාග කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොයුරිය වන ජයකි ද අල්විස් මහත්මිය මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැතින්ම මතු වන බව පැහැදිලි කරුණකි.
එහෙයින් එවැන්නකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කරන වාර්තාවක් අපක්ෂපාතී සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැත. එහෙයින් අපි මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු.ඉහත කී වාර්තා දෙක තමන්ට යමකු විසින් තැපෑලෙන් එවූ බවත් වත්මන් ජනාධිපතිවරයා එම වාර්තා ජනගත නොකරන නිසා තමන් එම වාර්තා දෙක ජනගත කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු විශාල ඝෝෂාවක් නගා, රංගනයක් ඉදිරිපත් කර ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අද වීරයකු ලෙස පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් මහා වේදනාවකින් සහ කම්පනයකින් කතා කරන උදය ගම්මන්පිල මහතා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක්
දැරීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතට පත් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ජනගත කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඔහු ඒ වෙනුවෙන් කිසිවිටෙක ඉදිරිපත් වී හඬ නැගුවේ නැත.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබියදීත් තම වගකීම් පැහැරහැරිය බවට චෝදනාවට
ලක්කොට, ඔවුන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කර තිබූ
උසස් පොලිස් නිලධාරීන් (උදා: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි) එම ධුරවලින් ඉවත් කළ යුතු යැයි උදය ගම්මන්පිල මහතා කිසිවිටෙක ප්‍රකාශ නොකළ අතර ගෝඨාභය රාජපක්ෂ රජය සහ රනිල්
වික්‍රමසිංහ රජය විසින් ඔවුන්ට උසස්වීම් ලබා දීමේ දී උදය ගම්මන්පිල මහතා කරබාගෙන නිශ්ශබ්දව සිටියේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළා ඔවුන්ට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට තමන් සුදානම් යැයි ප්‍රෝඩාකාරි වීරකමක් පෙන්වා ළඟ එන මහ මැතිවරණයේ දී
ඡන්දදායකයන් රවටා ඡන්දය ලබාගැනීමේ මහා වංචාකාරී උත්සාහයක උදය ගම්මන්පිල මහතා නියැලෙන බව ඉතාම පැහැදිලිය.එහෙත් මේ රටේ ජනතාව ගම්මන්පිල මහතා සිතනවාට වඩා බොහෝ බුද්ධිමත් බව අපි විශ්වාස කරමු.
උදයගම්මන්පිල මහතා වැන්නන්ගේ මෙම නාටකයේ යටි අරමුණ කුමක්දැයි අවබෝධ කර ගැනීමට ඔවුන් සමත් බව අපි විශ්වාස කරමු. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යටි අරමුණු සහිතව පත් කළා යැයි අපට හැඟී යන පිළිගත නොහැකි කමිටු මගින් ඉදිරිපත් කර ඇති වාර්තා මගින් සහ උදය ගම්මන්පිල
මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගනයන් ඔස්සේ ම්ලේච්ඡ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමගින් වින්දිතයන් හට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී තුන් දිනකින් එවකට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මූලික විමර්ශන භාරව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ස්ථාන මාරුවක් දී පසුව එම විමර්ශන කටයුතුවල නියැලී සිටි විමර්ශන නිලධාරීන් 20 කට අධික පිරිසකට ද ස්ථාන මාරු දීමෙන් ඇණහිටි විමර්ශන, අපක්ෂපාතීව, ස්වාධීනව විනිවිද පෙනෙනාකාරයෙන් ඉදිරියට ගෙන යාම.
එහෙයින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මෙන්ම අනෙකුත් දේශපාලන ඝාතන පිළිබඳ විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනයන්ට භාර දී තමන්ගේ වගකීම පමණක් ඉටු කරන්නැයි අපි සියලු දේශපාලකයන්ගෙන් සහ ඔවුන්ගේ සහචර නිලධාරීන්ගෙන් අවධාර ණයෙන් යුතුව ඉල්ලා සිටිමු.
(නිමල කොඩිතුවක්කු)
0 Comments