gammanpila-reports

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතු වාර්තා ඉදිරි දින 3ක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය. එම වාර්තා ගම්මන්පිල මහතා අතට පත්වූයේ කෙසේද, ඒවා ලබා දුන්නේ කවුදර? යන කරුණු පිළිබඳවත් ඔහුට කරුණු දැක්වීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.






අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (15දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. එම වාර්තා මෙතෙක් කාලයක් ළඟ තබා ගැනීමද වරදක් බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති බැවින් එම වාර්තා භාර දීම හා එය ලැබුණු ආකාරය හෙළිදරව් කිර්ම කළ යුතුම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු හා වගකිවයුතු පුද්ගලයන් සැඟවීමේ අවශ්‍යතාවක් වත්මන් රජයට නොමැති බවත්, සියලු පරීක්ෂණ කාර්යක්ෂමව හා සාධාරණව සිදු වන බවත් හේරත් මහතා ප්‍රකාශ කළේය.
(නවෝද්‍යා පවනි)