gampaha-uncle-son

 ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි ප්‍රදේශ කිහිපයක සිදු වූ මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන තරුණයකු සහ ඔහුගේ බාප්පා යැයි කියන අයකු දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ස්ත්‍රී දූෂණ, ඝාතන, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ 14 ක් කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මාධ්‍ය ප්‍රකාශකවරයා මල්වතුහිරිපිටිය පොලිසියේදී ඊයේ (18) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
මල්වතුහිරිපිටිය පොලිසිය විසින් පසුගියදා ඔවුන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ජනතාව භීතියට පත් කරමින් මෙවන් අපරාධ කළ මොවුන් කෙටි තලතදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, සහකාර පොලිස් අධිකාරි උපාලි කාරියවසම්, මල්වතු නිරි පිටිය සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන්ට ස්තූතිය පුද කරන බවද ඔහු කීය.


අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් වැඩි දුර ප්‍රශ්න කෙරෙන, සැකකරුවන් දෙදෙනා අවුරුදු 21 සහ 47 යන වයස්වල පසුවන බවත් ඉකුත් 15 වැනි දින අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණය කොට නින්ජා ආකාරයේ ඇඳුමින් සැරසී තවත් අපරාධයක් සඳහා යමින් සිටියදී බවත් හෙතෙම කීවේය.
මෙලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පිහි, උල් ආයුධ, අත් බෝම්බයක් සහ නිවාසවල ජනෙල් ගැලවීමට අවශ්‍ය උපකරණ ආදියද අයිස් මත් ද්‍රව්‍යද ඔවුන් සතුව තිබූ බව හෙතෙම සඳහන් කළේය.


අනතුරුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ ඇතුළු
සොරාගත් භාණ්ඩ බොහෝමයක් සොයා ගෙන ඇති බවත්
සොරා ගන්නා ලද රන් භාණ්ඩ නියම රත්රන්දැයි පරික්ෂා කිරීම
සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පවා තිබී ඇති බවත් ප්‍රකාශ කළ
තල්දුව මහතා ඔවුන් කොල්ලකෑම් සහ අපරාධ කිරීම පිණිස
තනි වශයෙන් ඇති විශාල වතු සහිත ගෙවල් කලින් හඳුනා
ගනිමින් එම වතු වලට සවස් කාලයේ ඇතුළු වී සිට අපරාධ
සිදු කරන බවත් කී මාධ්‍ය ප්‍රකාශකවරයා නිවාසවල ආරක්ෂිත
කැමරා ආදිය තිබුණහොත් ඒවා සහ අංගෝපාංග රැගෙන යන
බවත් අනාවරණය වී ඇති බව පැවසීය.
ස්ථිර පදිංචියක් නොමැති මෙම සැකකරුවන් දෙදෙනා මල්වතුහිරිපිටිය, වැලිවේරිය, දොම්පෙ, ඇහැලියගොඩ සහ කිරි ඇල්ල යන ප්‍රදේශයන් හිදී කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිදුකොට ඇති බව ප්‍රකාශ වී ඇති අතර කිරි ඇල්ල ප්‍රදේශයේදී 74 හැවිරිදි කාන්තාවක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියටද ඔවුන් සම්බන්ධ බවට ප්‍රකාශ වලින් හෙළි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


ප්‍රදේශ ගණනාවක ජනතාව තුළ පැවති භීතිය දුරු කරමින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගන් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරි උපාලි කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැමුණු ගුණරත්න සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් මල්වතුහිරිපිටිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ක්‍රියා කොට ඇත.
(ගම්පහ - තිලකරත්න දිසානායක හා ගම්පහ උපාලි රණවීර)