ganemulla-incident

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගණේමුල්ල කැන්දලියැද්දපාළුව ප්‍රදේශයේ පාළු නිවෙසක පැවැති සාදයක් වටලා මත්කුඩු පානය කරමින් සිටි තරුණ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.පොලිසියට පෞද්ගලිකව ලද තොරතුරක් මත මෙම නිවෙස වැටලූ අවස්ථාවේදී එහි තරුණ තරුණියන් 18 දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ මත්කුඩු මත්පොති ගංජා ආදී මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇතැයි රාගම පොලිසිය කියයි.


මෙම කණ්ඩායමේ තරුණයන් දහසය දෙනෙක් සහ තරුණියන් දෙදෙනකු සිටින බවත්

ඔවුන් වයස අවුරුදු 15ත් 19ත් අතර කාණ්ඩයට අයත් වන බවත් පොලිසිය පැවැසීය.ඉන් එක් තරුණියකගේ පියා විදේශ රැකියාවක නිරතවන අතර මව පවුලෙන් වෙන්වී ඇතැයි ද තරුණිය තනිව ජීවත්වන බව ද විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සදහන් කරයි.


කොටහේන මීතොටමුල්ල දෙමටගොඩ කොළඹ ආදී ප්‍රදේශවල පිරිස් මෙම සාදයට එක්ව ඇති අතර ඔවුන් සාදය පැවැත්වූ නිවෙස වටා ආරක්ෂිත තාප්ප යොදා රෝලර් ගේට්ටුවකින් ආවරණය කර පිටතින් කිසිවකුට නිවෙසට ඇතුළුවීමට නොහැකිවන අයුරින් නිවෙස ද අගුලුදා තිබියදී රාගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.




මුහුණු පොත හරහා හඳුනාගෙන ඇති මෙම තරුණ තරුණයන් මහර අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔවුන්ගේ භාරකරුවන්ට අධිකරණයට පැමිණ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ලෙසත් පොලිසිය ඔවුන්ව දැණුවත් කළ බව පොලිස් නිලධාරීන් ගෙන් විමසීමේදී පැවසීය.මෙම තරුණ තරුණියන් අතර දෙමාපියන් තම තරුණ දුදරුවන් ගේ හැසිරීම් පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතු යැයි රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා පැවසීය.
( සරත් චින්තක)