girl-collapse-lotus-tower

අද (7) කොළඹ නෙළුම් කුළුණෙන් වැටී ජීවිතය අහිමිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය සම්බන්ධ වැඩිදුර විස්තර මේ වනවිට අනාවරණයවේ.
කොල්ලුපිටියේ පදිංචිකාරියක වන 15 හැවිරිදි මෙම සිසුවිය පාසල් ඇරී නිවසට නොගොස් නෙළුම් කුළුණ පරිශ්‍රයට පැමිණ ඇත්තේ සිය නිල ඇඳුම පාසල් බෑගයේ දමාගෙන වෙනත් පාට ඇඳුමක් ඇඳගෙනය. ඇය පැමිණ ඇත්තේ තනිවමය.
නැරඹුම් පීඨිකාව වෙත යාමට ටිකට් පතක් ලබාගෙන තිබූ ඇය විදුලි සෝපානයෙන් ඒ වෙත ගමන් කර ඇති බව නිරීක්ෂණ වලදී අනාවරණය වේ. අනතුරුව නැරඹුම් පීඨිකාව අසළ පාලම ළඟ ඇය රැගෙන ආ පාසල් බෑගය තබා ඇති අතර කිසිවෙකු ආසන්නයේ නොසිටි අවස්ථාවක ඇය එතැනින් පැන ඇති බව අනුමාන කෙරේ.
ඇගේ සිරුර නෙළුම් කුළුනේ තුන්වන මහළේ පිහිටි විවෘත ස්ථානයට වැටී ඇති අතර මීටර 250 කින් පමණ ඉහළ සිට පහළට වැටීම නිසා ඇගේ හිසට බරපතල හානි සිදුව එතැනම මියගොස් සිටි බව වාර්තාවේ.

පරීක්ෂණ පවත්වන පොලිසිය අවශ්‍ය සාක්ෂි සටහන් කරගැනීමෙන් පසු සිරුර එම ස්ථානයෙන් රැගෙන යන ලදි.
ඇගේ පාසල් බෑගයේ පැවති විස්තර අනුව ඇගේ අනන්‍යතාව හඳුනාගන්නට පොලිසියට හැකිවූ අතර මියගොස් ඇත්තේ රත්ද්‍යා ගුණසේකර නමැති කුරුදුවත්තේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක බව පරීක්ෂණ පවත්වන පොලිසිය වාර්තා කර තිබේ.
මෙම 15 වියැති සිසුවිය ඉගෙනුම ලබමින් සිටි පන්තියේම ඉගෙනුම ලැබූ සිසු යුවළක් මීට මාස 3 කට පමණ පෙර කොල්ලුපිටිය අල්ටෙයාර් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිට පැන සියදිවිනසාගෙන තිබූ අතර අද මියගිය සිසුවිය ඔවුන්ගේ හොඳම යෙහෙළියකව සිටි බවද පැවසේ. පෙර කී සිදුවීමෙන් පසු කලකිරුණ මනසින් සිටි බව පැවසෙන සිසුවිය යහලුවන්ගේ තුන්මාසේ දානයටද සහභාගීවී ඇති බවත් ඇගේ හදිසි තීරණය එයින් පසු ලබාගෙන ඇති බවත් පැවසේ. එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි  වැල්ලවත්ත පදිංචි පිරිමි සිසුවෙකු සහ එම වයසේම කැලණිය පදිංචි ගැහැණු සිසුවියක ඛේදජනක ලෙස පසුගිය ජූලි මස මුලදී එම සිදුවීමෙන් මිය ගොස් තිබුණි. 
සපත්තු හා බෑග් පනින තැන තබා ඔවුන් මියගිය ආකාරයද මීට සමාන මුහුණුවරක් ගෙන තිබුණි.
මෙම මරණ තුනම එකිනෙක සම්බන්ධිත ගැටලුවක් නිසා සිදුවූවාද යන්න ප්‍රහේලිකාවකි.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.