gona-pinu-wala-incident

ගෝනාපිනුවල ප්‍රදේශයේ ආපන ශාලාවකින් මුදල් නොදී කෑම රැගෙන ගිය බව කියන රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබදව ගාල්ලේ සහකාර පොලිස් අධිකාරීවරයකුට පැමිණිලි කළා යැයි උරණ වූ එම පොලිස් නිලධාරීන් පිරිස තමාට බැණ තර්ජනය කළේ යැයි කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන මහතා ගෝනපිනුවල පොලිසියට පෙරේදා (1) පැමිණිල්ලක් කළේය.




ගෝනාපිනුවල පදිංචි තමා එම ප්‍රදේශයේ කෑම කඩයකට කඩයකට සිවිල් ඇඳුමින් ගොස් කෑම පැකට් කිහිපයක් මිලදී ගනිමින් සිටියදී රථ වාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් පිරිස යතුරු පැදිවලින් පැමිණ කෑම පාර්සල් ටිකක් දෙන්න යැයි කියමින් කෑම මුදල් නොගෙවා රැගෙන යෑමෙන් පසුව කෑම කඩයේ අය මුළු පොලිස් සංහතියටම බැණ වැදුණු බවත්, ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියකු ලෙස තමාට ඇතිවූ අධික ලජ්ජාව නිසා මේ සම්බන්ධයෙන් ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට දුරකතනයෙන් පැමිණිලි කළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.


පැමිණිල්ල අනුව වහාම කියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ ගැන පැමිණිලි කිරීම පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වරුෂ විතාන මහතාට කෘතඥතාවද පළ කර ඇතැයි දැන ගන්නට ඇත.

පැමිණිලි කිරීමෙන් උරණවූ කෑම රැගෙන ගිය රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් අට දෙනා යතුරු පැදි හතරකින් තමා සොයා ගෙන පැමිණ තමා වට  කර ගෙන තමාට තර්ජනය කළ බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ගෝනාපිනුවල පොලිසියෙන් අප කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු කීවේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුෂවිතාන මහතා කළ මේ පැමිණිල්ල පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.
එම්. සුසිල් ප්‍රියන්ත