gotabaya-court

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන ලලිත් හා කූගන් දෙදෙනා පැහැරගෙන යෑමේ නඩුවේ සාක්කිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය අධිකරණයේ හැර වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුව සම්බන්ධයෙන් සාක්කි දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) දැනුම් දුන්නේය.




මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන ලලිත් හා කූගන් දෙදෙනා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ සාක්කි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.


මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් නමැත්තන් 2011 දෙසැම්බර් 10 වැනිදා අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ 'හබයාස් කෝපුස්’ පෙත්සමකට අදාළව සාක්කි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 සැප්තැම්බර් 27 වැනිදා පෙනී සිටින ලෙස දැනුම් දෙමින් 2019 සැප්තැම්බර් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවන්, ත්‍රස්තවාදය තුරන් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්කි දීමට නොහැකි බවට ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට මීට පෙර අවස්ථාවක මෝසමක් මගින් දැනුම් දී තිබූ බව සඳහන් කර ඇත.




ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහු සාක්කියට කැඳවිය නොහැකි බවට එම මෝසම සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මීට පෙර තීරණය කර තිබූ බව සඳහන් කරන පෙත්සම්කරුවන්, අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි බව ද සඳහන් කර ඇත.


මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් අදාළ ‘හබයාස් කෝපුස්' පෙත්සම්වලට අදාළව ඔහුගේ සාක්කි කැඳවීමට හැකියාව ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරුවෝ, ඒ සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි මෙම අභියාචනා පෙත්සමෙන් ඉල්ලා සිටිති.


පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින්, අදාළ නඩුව සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ සාක්කි දීමට තම සේවාදායකට නොහැකි හෙයින්, එම අධිකරණය හැර වෙනත් ඕනෑම අධිකරණයක සාක්කි දීමට ඔහු කැමැත්තෙන් පසුවන්නේ යැයි ද කීය.


පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ඊට විරුද්ධත්වයක් පළ කළේ නැත.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල, මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා පෙත්සම ලබන වසරේ මාර්තු මස 18 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
( රංජන් කටුගම්පොළ)