Grade-Five-scholarship-exam-paper-leaked

 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්න ලෙසත් ඉල්ලමින් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය පිරිසක් සහ දෙමාපියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (15දා) ගොනු කළහ.




පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් පැතිර ගිය බවත්, ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙම ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් විසින් ලබා දී ඇති බවට කරුණු හෙළි වූ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ඉන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද කියා සිටිති.




කැස්බෑවේ පදිංචි ජී. මංගල සහ ඇගේ දියණිය ඇතුළු 54 දෙනෙකු ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් මෙම පෙත්සම ගොනු කරමින් අදාළ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ අඩංගු ප්‍රශ්න පත්‍ර තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් ඇති වූ බවත්,

ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අදාළ ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුවිසින් ලබාදී ඇති බවට කරුණු හෙළි වූ බවත් සඳහන් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ඇගයීම් අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළ බව පවසන පෙත්සම්කරුවෝ මින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද පවසති.


මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ නාම ලේඛනය අධිකරණයට ලබාදෙන ලෙස නියම කරන්නැයිද අදාළ විභාගයේ ලකුණු ප්‍රකාශයට පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට නියම කරන්නැයිද ඉල්ලා සිටිති. ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රහස් පොලීසියට නියම කරන්නැයිද තම පෙත්සම විභාග කර තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශයක් කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තමන්ට රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයිද ඉල්ලා සිටිති.
(බුද්ධිමාල් රුබේරු)