Grade-Five-scholarship-exam-paper-leaked

බාහිර පාර්ශ්වයන් වෙත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03කට අමතරව වෙනත් ප්‍රශ්න පිට වී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ අද (07දා) දිනය තුළද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලවලට ගොස් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කාර්යාලවලට ගොස් පැමිණිලි ඉදිරිපත් කිරීමට යම් අපහසුතාවයක් ඇති පුද්ගලයන්ට ළඟම පිහිටි පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි හා තොරතුරු ඉදිරිපත් කළ හැකි බවද පෙන්වා දෙයි.




මීට අදාළ පැමිණිලි භාර ගැනීම පසුගිය දිනවල සිට සිදු කළ බවත්, අද දිනය තුළදීත් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත්, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම පැමිණිලි සටහන් කරගෙන විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවද පෙන්වා දෙයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවත්, මීට අදාළව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කළ නිලධාරියෙකු හා උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත්, ඔවුන් අද (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිට වී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය නිසා එම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, පොලීසිය විසින් සිදුකර තිබෙන විමර්ශනවලට අනුව ප්‍රශ්න තුනක් පිටස්තර පුද්ගලයන් සතු වී තිබෙන බවට හෙළි වී තිබේ. එහෙත් මෙම ප්‍රශ්න තුනට අමතරව වෙනත් ප්‍රශ්නද පිට වී තිබෙන බව සඳහන් කරමින් ඇතැම් දෙමාපියන් විසින් පසුගිය දිනවල විරෝධතා ව්‍යාපාරවල නිරත විය.

එච්.අයි.තුෂාර