gurusetha-fraud

මහජන බැංකුව හඳුන්වා දී ඇති ‘ගුරු සෙත' ණය යෝජනා ක්‍රමය යටතේ අවස්ථා 26 කදී රුපියල් 42,055,000 ක (හාර කෝටි විසි ලක්ෂ පනස් පන්දහසක) මුදලක් වංචා සහගත ලෙස ලබාගැනීමේ සිද්ධියේ මහ මොළකාරිය බව කියන කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලක හිටපු ගුරුවරියක පෙරේදා (9) කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කියයි.මෙම වංචාව සම්බන්ධයෙන් විශ්‍රාමික

විදුහල්පතිනියක වන සැකකාරියගේ මව, මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරියක ඇතුළු 11 දෙනෙක් මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


ප්‍රධාන සැකකාරිය වන හිටපු ගුරුවරියගේ පුංචි අම්මා වන කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක, එම ප්‍රදේශයේ මහජන බැංකුව වෙත ගොස් ඇය රුපියල් ලක්ෂ 20 ක ගුරුසෙත ණයක් ලබාගෙන ඇති බවට සඳහන් කරමින් මහනුවර ශාඛාවකින් ලිපියක් ලැබුණු බවත් එවැනි ණය මුදලක් තමන් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස 2019 වසරේ නොවැම්බර් මාසයේදී එම ශාඛාවේ කළමනාකරුට කළ පැමිණිල්ලකට අනුව මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි

ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් පැවැත්වූ මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය ඒ ආකාරයෙන් මහනුවර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් 26 දෙනකුගේ හැඳුනුම්පත් උපයෝගී කරගෙන ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර දෙල්තොට, ගම්පොළ, මහනුවර සහ මහනුවර කේ.සී. සී. ශාඛාවෙන් 2016 වසරේ සිට 2019 වසර දක්වා වසර තුනක් තුළ අවස්ථා 26 කදී රුපියල් 4,2,055,000/= ක මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රාදේශීය කළමනාකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකාරියේ ගේ මව වන විශ්‍රාමික විදුහල්පතිනිය, බැංකු කළමනාකාරවරිය ඇතුළු සැකකරුවන් 11 දෙනා මෙම කාලය තුළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් බැංකු කළමනාකාරිය සහ විදුහල්පතිනිය හැරෙන්නට ඒ අතර කාන්තාවන් අට දෙනකුද වන බව පොලිසිය කියයි. මෙම මහා පරිමාණ මුදල් වංචාවත් සමගම සැකකාර ගුරුවරිය 2013 වසරේ සිට කොළඹ බාලිකා විදුහලේ වසර හයක් කළ ගුරුසේවයෙන් 2019 වසරේදී ඉවත්ව විවිධ ප්‍රදේශවලව

සැඟවී වසන්වී සිටි බවත් පොලිසිය පවසයි.


ප්‍රධාන සැකකාරියගේ මව විශ්‍රාමික විදුහල්පතිනියක බැවින් ගමේ නමක් දිනා සිටින හෙයින් ඔවුන්ගේ මෙම වංචාවට සමහර පුද්ගලයන් දැන දැනත් මුදල්වලට සහ සමහර පුද්ගලයන් නොදැනුවත්ව හසු වී ඇති බවත් ඒ අතර ආබාධිත පුද්ගලයන්ද වන බවත් පොලිසිය කියයි.දැන දැන මෙම වංචාවට සම්බන්ධ වූ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ විස්සක ගුරු සෙත ණය ලබා ගැනීමෙන් අනතුරුව ලක්ෂ පහක මුදල් ද නොදැන වංචාවට හසු වූ ආබාධිත හා අනෙකුත් පුද්ගලයන් සඳහා එයින් ලක්ෂයක මුදල් ද ලබා දී ඇතැයි මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මෙම වංචාව සඳහා යොමු කරගත් පුද්ගලයන්ගෙන් හැඳුනුම්පත සහ ග්‍රාම නිලධාරි සහතිකය පමණක් ලබාගන්නා ප්‍රධාන සැකකාරිය අන් සෑම ලියවිල්ලක්ම සිය නිවස තුළ ඉතා සූක්ෂම ලෙස සකස් කර විදුහල්පතිගේ සිට අන් සෑම නිලයක් දරන පුද්ගලයෙකුගේම මුද්‍රා සැක නොසිතන ලෙස තබා බැංකු වෙත ඉදිරිපත් කර ණය ලබාගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම නිල මුද්‍රා මරදාන ප්‍රදේශයේ ස්ථානයකින් ඇය සකස් කරගෙන ඇතැයි පොලිසිය කියයි.




මෙම වංචාවට සම්බන්ධ තවත් පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ අතර සිටින කාන්තාවන් තිදෙනකු මේ වන විට විදේශගතව ඇති බවත් ඔවුන් වෙත විදේශ ගමන් තහනම් නියෝගයක් ද මේ වන විට ලබාගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


අත්අඩංගුවට ගත් හිඳගල ගල්ඔය 9 කණුව පදිංචි 36 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.
(  බිමල් ශ්‍යාමන් ජයසිංහ)