hanwella-businessman-murder

 හංවැල්ලේ ධනවත් ව්‍යාපාරිකයකු වූ වජිර නිශාන්ත සිය නිවස තුළ දීම වෙඩි තබා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දැඩි භීතියට පත්වූහ.

හංවැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක නිරායුධ පුරවැසියන් භීතියට පත් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ලලිත් කන්නන්ගර නමැති පාතාල මැරයා මේ සාහසික අපරාධය පිටුපස සිටින බව ඒ වනවිට මුළු රටම දැන සිටියහ.



හංවැල්ලේ ව්‍යාපාරිකයන් මෙන්ම අහිංසක ජනයා භීතියෙන් භීතියට පත්වන්නේ වජිර නිශාන්ත ඝාතනය පිටුපස මේ පාතාල මැරයා සිටින බව දැන ගැනීමත් සමගය. හංවැල්ලේ ව්‍යාපාරිකයන් එසේ භීතියට පත්වන්නේ ලලිත් කන්නන්ගර නමැති පාතාලයා තමන්ගෙන් ද එසේ කප්පම් මුදල් ඉල්ලා ජීවිත තර්ජන එල්ල කර තිබූ නිසාය.

ලලිත් කන්නන්ගර ජීවත් වීමට මඟක් නොමැතිව සිටිය දී ඔහු තම නිවසට කැඳවාගෙන ගොස් කන්න බොන්න දී කොන්දොස්තර රැකියාව ද ලබාදී නිවසේ නතර කරගෙන මනුෂ්‍යයකු කළේ වජිර නිශාන්ත බව හංවැල්ලේ ව්‍යාපාරිකයන් මෙන්ම ජනතාවද දැන සිටියහ. ලලිත් කන්නන්ගර ඩුබායි රාජ්‍යයේ සිට කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළ ද හංවැල්ලේ ව්‍යාපාරිකයන් ඒ කිසිවක් ගණනකට ගන්නේ නැහැ. ඒ මන්ද යත් වජිර නිශාන්තගේ හයිය ව්‍යාපාරිකයන්ට තිබූ නිසාය.

“ඕකා මගේ ළඟ හිටපු එකානේ. ඌ මගේ වචනෙට පිටින් යන්නේ නැහැ. ඒ නිසා ඌට කප්පම් දෙන්න ඕනේ නැහැ.” ඔයගොල්ලො බය නැතිව ඉන්න.

වජිර නිශාන්ත හංවැල්ලේ සිය මිතුරු ව්‍යාපාරිකයන්ට නිතර කීවේය. ව්‍යාපාරිකයන්ද සිතුවේ ලලිත් කන්නන්ගර වජිර නිශාන්තට කිසියම් ගෞරවයක් කරනවා කියාය. එහෙත් අවසානයේ සිදුවූයේ ලලිත් කන්නන්ගරගේ දෙවැනි පියා බදු වජිර නිශාන්ත ඔහුගේම ගොදුරක් බවට පත්වීමයි.

මේ සිදුවීම්වලින් හංවැල්ලේ ව්‍යාපාරිකයන් දැඩි ලෙස භීතියට පත්වූහ. තම ජීවිත ගැන ඔවුන්ට තිබූ එකම ආරක්ෂකයා වජිර නිශාන්තය. එහෙත් මේ පාතාල මැරයා ඔහු ද ඝාතනය කළාට පසුව තවත් කවරනම් කතා ද? ඒ නිසා ම හංවැල්ලේ ඇතැම් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර ද අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා යන්නට වූහ.



හංවැල්ලට උදාවෙමින් තිබූ මේ නරක කලදසාව ගැන වඩාත්ම අවුලට පත්ව සිටියේ පොලිසියයි. කාකිනිල ඇඳුම තඹ සතයකට මායිම් නොකරන ලලිත් කන්නන්ගර නමැති මැරයා සිදුකරන අපරාධ දිනෙන් දිනම ඉහළයෑම බරපතළ ගැටලුවක් බවට පත් වෙමින් තිබුණේය. මෙය පොලිසියට විශාල අභියෝගයක් විය. ඒ වනවිට ලලිත් කන්නන්ගරට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු පවා පොලිසිය විසින් ලබාගෙන තිබුණේය. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගත් ලලිත් කන්නන්ගර නමැති පාතාල මාරයා ඩුබායි රාජ්‍යයේ සුඛෝපභෝගි ජීවිතයක් ගත කරමින් සිය අපරාධ චාරිකාව ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටියේය. වජිර නිශාන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන හංවැල්ල පොලිසිය ක්‍රියාත්මක කර තිබිණි. ඒ අතර නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන පවත්වාගෙන ගියහ. පාතාල අපරාධකරුවන් මෙන්ම ඔවුන්ගේ ක්‍රියාවන් මර්දනය කිරීමේලා විශාල මෙහෙයක් කළ දක්ෂ නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාර්ග කීපයක් ඔස්සේ මේ ඝාතනයට අදාළ තොරතුරු සොයන්නට වූහ. පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්, පොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් ප්‍රසන්න ඇතුළු නිලධාරීන් හංවැල්ලට ගොස් දින කීපයක් තිස්සේ එහි රැඳී සිටිමින් මේ පතාලයේ සුලමුල සොයන්නට වූහ. සීසීටීවී කැමරාවලට අදාළව තොරතුරු විමර්ශනය කළ ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වී තිබුණේ නැහැ. ඒ මන්දයත් වජිර නිශාන්තට වෙඩි තැබූ කුලී ඝාතකයා සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන එහි පැමිණ සිටීම නිසාය.

එමෙන්ම ඝාතකයා තනිවම මෙම ප්‍රහාරය සඳහා පැමිණ සිටි බවද පොලිසිය හෙළි කර ගත්තේය. වජිර නිශාන්තට ඩුබායිහි සැඟවී සිටින ලලිත් කන්නන්ගරගෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවී තිබූ නිසා මේ ඝාතනය පිටුපස ඔහු සිටින බවට පොලිසිය අනුමාන කළහ. ලලිත් කන්නන්ගර සමග සබඳතා පවත්වන පාතාල මැරයන් පිළිබඳව පොලිසියේ උකුසු ඇස යොමුවී තිබිණි. හංවැල්ලේ සුධීරගේ නම කරළියට එන්නේ ඔය අතරතුර දීය. සුධීර යනු ලලිත් කන්නන්ගරගේ පැරණි මිතුරෙකි. ලලිත් කන්නන්ගර හැංවැල්ලට පැමිණිදා පටන් ඔහු ඇසුරු කළ සුධීර කලක් යුද හමුදාවේ සේවය කළ අයෙකි.

නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකුගේ පෞද්ගලික ඔත්තුකරුවකු හරහා ලැබුණු තොරතුරක් මත පොලිසිය සුධීර ලුහුබඳින්න පටන් ගත්හ.

හංවැල්ල දිග්දෙණිය ප්‍රදේශයේ උපන් සුධීර 2008 වර්ෂයේ දී යුද හමුදාවට එක් වුණේය. ඒ 11 වන පාබල හමුදාවටය. යුද්ධය දරුණු අන්දමින් ක්‍රියාත්මක වෙද්දී සුධීර ඊට සම්බන්ධ වී සිටියේය. එහෙත් 2009 වර්ෂයේදී යුද්ධය නිමාවීමත් සමග ම සුධීර හමුදා සේවයට සමුදුන්නේය. සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත ඔහු වැඩ තහනමට ලක්වී සිටියේය. 2015 වර්ෂයේ පොදු සමාවක් යටතේ සුධීර හමුදා සේවයට නීත්‍යානුකූලව සමුදුන්නේය.

සුධීර විවාහ වන්නේ හංවැල්ල දිග්දෙණියේම තරුණියක සමගය. දරුවන් දෙදෙනකුගේ පියකු වූ ඔහුට ස්ථීර රැකියාවක් තිබුණේ නැත. කලක් කසිප්පු පෙරීමේ ව්‍යාපාරය කරගෙන ගිය සුධීර එවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වෙමින් මුදල් ඉපයූවේය. ලලිත් කන්නන්ගර හංවැල්ලට පැමිණි දා පටන් ඔහු ළඟින් ඇසුරු කළ සුධීර සමීප මිතුදමක් ගොඩනඟාගෙන සිටියේය.



ලලිත් කන්නන්ගර ඩුබායි රාජ්‍යයට පලා යෑමෙන් පසුව ද ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධය නතර වූයේ නැත. ලලිත් කන්නන්ගර තම මිතුරු වූ සුධීරට නිතර නිතර දුරකථන මාර්ගයෙන් කතා කළේය.

ඒ වනවිට සුධීරගේ විවාහ දිවිය හැලහැප්පීම් ගණනාවකට මුහුණ දෙමින් තිබුණේය. සුධීර හංවැල්ලේ රූපලාවණ්‍යා ගාරයක සේවය කළ තරුණියක සමග අනියම් සම්බන්ධයක් ගොඩනඟාගෙන සිටියේය.

අවසානයේදී තම දරු දෙදෙනා සහ බිරිඳ අතහැර දැමූ සුධීර අනියම් බිරිඳ සමග බළංගොඩ කල්තොට ප්‍රදේශයට යන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සිහින මවමින්ය. කොමියුනිකේෂන් එකක් ආරම්භ කළ සුධීර සහ අනියම් බිරිඳ එය දියුණු කර ගන්නට උත්සාහ කළහ. එහෙත් යහමින් මුදල් හරිහම්බ කිරීමට ඒ ව්‍යාපාරය ප්‍රමාණවත් නොවීය. ඉක්මනින් මුදල් ලැබෙන මාර්ගයක් සොයන්නට සුධීර හැමවිටම උත්සාහ කළේය. ඔහු මේ ගැන තම ඩුබායි මිතුරා වූ ලලිත් කන්නන්ගරට ද කීවේය. උඹ මගෙත් එක්ක වැඩකරපන්. මම උඹව ගොඩ දාන්නම්. සල්ලි හොයන කෙටි මාර්ග කොච්චර තියනවා ද? ලලිත් කන්නන්ගර සුධීරට කීවේය. “මගේ අයිස් බිස්නස් එක තියෙනවා. මම උඹට බඩු දෙන්නම්. බළංගොඩ ඒරියා එකේ බිස්නස් පටන් ගනින්. ඉක්මනින් සල්ලි හොයන්න තියන එකම බිස්නස් එක ඕක තමයි. ලලිත් කන්නන්ගර සුධීරට කීවේය.

එදා සිට සුධීර අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වුණේය. බළංගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක අයිස් බෙදාහැරීම සිදුවන්නේ සුධීරගේ මෙහෙය වීමෙන්ය. කෙටි කාලයක් තුළ සුධීර සෑහෙන වත්පොහොසත්කම් ඇත්තකු වුණේය.

නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ මේ නිලධාරින් සුධීරගේ මේ සියලු වතගොත සොයාගෙන ඔහුගේ අනියම් බිරිඳ පදිංචි නිවස තිබෙන ස්ථානය ද හෙළි කර ගත්හ.

සුධීර සිය අනියම් බිරිඳ සමග කල්තොට නිවසේ රැඳී සිටියදී නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට කොටු වුණේය. සුධීර සිතුවේ කිසි දිනක මේ අපරාධය පිළිබඳ තොරතුරු හෙළි නොවනු ඇතැයි කියාය. එහෙත් නුගේගොඩ අපරාධ කොට්ඨාස නිලධාරීන්ගෙන් සුධීරට ගැලවීමක් ලැබුණේ නැත. අත්අඩංගුවට ගත් සුධීර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ. ඒ ප්‍රශ්න කිරීම් හමුවේ වැළලී ගොස් තිබූ අපරාධ වැලක තොරතුරු එකින් එක එළියට එන්නට පටන් ගත්හ. ලලිත් කන්නන්ගරගේ කොන්ත්‍රාත් කුලී සහායකයා ලෙස කටයුතු කර තිබුණේ සුධීරය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මිනිස් ඝාතන සිදුකරමින් මුදල් ලබාගැනීම සුධීර නමැති පාපතරයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබුණේය.

හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ පස් කැපීම සඳහා වෙන් කළ විශාල ඉඩමක් විය. මේ ඉඩමේ පස් කැපීමේ ජාවාරම ජයටම කරගෙන ගියේ හංවැල්ල පාතාලයේ තවත් කෙළිකාරයකු වූ මන්නා රොෂාන්ය.

මේ පස්වළ හරහා රුපියල් ලක්ෂ 5-10ක ශුද්ධ ලාභයක් දෛනිකව ලබාගත් මන්නා රොෂාන් සිය පාතාල බලය පෙන්වමින් කාලයක් තිස්සේ ජාවාරම කරගෙන සිටියේය. ඩුබායිහි සිටින ලලිත් කන්නන්ගරට මේ පස්වළ පිළිබඳව ඉව වැටී තිබුණේය. පස්වළෙන් අතිවිශාල ලාභයක් දෛනිකව ලැබෙන නිසා එය තම පාලනයට ලබාගැනීමට ඔහුට අවශ්‍ය විය. ලලිත් කන්නන්ගර මන්නා රොෂාන්ට දුරකථනයෙන් කතා කර පස්වළ සඳහා තමන් සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

“රොෂාන් මං උඹට කාලෙක ඉඳලා හෙරොයින්, අයිස් එවනවනේ. උඹ මාවත් ඔය පස් කැපිල්ලට සම්බන්ධ කර ගනින්. එතකොට අපට හොඳ ගමනක් යන්න පුළුවන්. ලලිත් කන්නන්ගර මන්නා රොෂාන්ට කීවේය.

උඹට පිස්සු ද? අපි කීපදෙනෙක් සෙට් වෙලා මේක කරන්නේ. මේකට තව හවුල්කාරයෝ ගාවගත්තම ප්‍රශ්න. අනික මං උඹෙන් හෙරොයින් ගන්නේ සල්ලිවලට. ඒවට මං වේලාවට ගනුදෙනු බේරලා ඇති. පස්කැපීමේ ජාවාරමට ලලිත් කන්නන්ගර සම්බන්ධ කර ගැනීමට එක පයින්ම මන්නා රොෂාන් විරුද්ධ වුණේය.

ලලිත් කන්නන්ගර මේ පස් ජාවාරමට සම්බන්ධ වීමට කොතෙකුත් උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැත. අවසානයේදී ලලිත් කන්නන්ගර තීරණයකට ආවේය. මන්නා රොෂාන් පරලොව යවා හෝ පස්වළ තමන් අතට ගැනීම ඔහුගේ සැලසුම විය.

ලලිත් කන්නන්ගර ඩුබායි සිට සිය පාතාල සගයා වූ සුධීරට කතා කළේය. “උඹට ලොකු වැඩක් භාර දෙන්න කතා කළේ. මන්නා රොෂාන් එක්ක මගේ පොඩි ඇරියස් එකක් තියනවා. ඌ දඟලනවා වැඩියි. අයින් කරලා දාන්න ඕනෙ. උඹ මේ වැඩේ මට කරලා දීපං… මං හොඳට ගෙවන්නම් ලලිත් කන්නන්ගර සුධීරට කීවේය. යුද හමුදාවේ අවි පුහුණුව ලබා තිබූ නිසා ආයුධ පරිහරණය සුධීරට ඒ තරම් ප්‍රශ්නයක් වුණේ නැත.

ටිකක් කල්පනා කරලා කියන්නම්. මීට කලින් ඔය වගේ වැඩ කරලා නැති නිසා පොඩි අවුලක් තියෙනවා.



සුධීර සිය කල්‍යාණ මිතුරා බඳුවූ ලලිත් කන්නන්ගරට කීවේය. දින කීපයක් ගතවිය. මන්නා රොෂාන් පරලොව යැවීමෙන් පසු තමන්ට ලබාදීමට පොරොන්දු වූ විශාල මුදල ගැන කල්පනා කළ සුධීර ඒ යෝජනාවට කැමැති වුණේය. වැඩේට සේරම ලෑස්ති කරලා තියෙන්නේ. ඕන කරන වෙපන් එක මගේ ගෝලයෙක් ගෙනැත් දෙයි. උඹට තියෙන්නේ අරකගේ ඔළු කට්ට පොඩිවෙන්න තියලා මාරු වෙන්න” ලලිත් කන්නන්ගර සුධීරට කීවේය. මන්නා රොෂාන් ඝාතනය කිරීමට අවශ්‍ය සියලු දේ සුධීර වෙත සපයා දීමට ලලිත් කන්නන්ගර කටයුතු කළේය. පරලොව යැවීම සඳහා මන්නා රොෂාන් හංවැල්ල තුන්නාවේ පිහිටි වෙන්දේසි ඉඩමක් වෙත ඔහු ගෙන්වා දීමේ කටයුත්ත සිදු කළේ ද ලලිත් කන්නන්ගර විසින්ය.

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ලබාදෙන බවට පොරොන්දු වී මන්නා රොෂාන් තුන්නාවේ පිහිටි විශාල වෙන්දේසි ඉඩමක් වෙත ගෙන්වීමට ලලිත් කන්නන්ගර කටයුතු කළේය. ඒ වනවිට සුධීර ස්වයංක්‍රීය ගිනි අවියක්ද අතැතිව අසල පිහිටි ලඳු කැලෑවක සැඟවී සිටියේය.

මන්නා රොෂාන් සිය සගයකු ද සමග කැබ් රථයකින් වෙන්දේසි ඉඩමට ආවේය. තමන් ඝාතනය කිරීමට කුලී මිනිමරුවකු සැඟවී සිටින බව නොදත් මන්නා රොෂාන් ් වෙන්දේසි ඉඩමට වී අයිස් මත්ද්‍රව්‍ය තොගය ලැබෙන තුරු බලා සිටියේය. එහෙත් අයිස් වෙනුවට මන්නා රොෂාන්ට ලැබුණේ වෙඩි වරුසාවකි. කැලෑවේ සැඟවී සිටි සුධීර මන්නා රොෂාන් සහ ඔහුගේ සගයාට ඉවක් බවක් නොමැතිව වෙඩි තබා පලා ගියේය. ප්‍රහාරයෙන් මන්නා රොෂාන් සහ ඔහුගේ සගයා මිය ගියහ. ප්‍රහාරය එල්ල කළ සුධීර පාගමනින්ම කැලෑ මාර්ග ඔස්සේ ගොස් අතුරුදන් වුණේය. මන්නා රොෂාන් සහ ඔහුගේ සගයා ඝාතනය සුධීර විසින් තනිවම කර තිබූ නිසා එය හෙළි කරගන්නට පොලිසියට පහසු වුණේ නැත. ඝාතකයන් සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් පැවැත්වුවද එය සාර්ථක නොවීය.

මන්නා රොෂාන් ඝාතනය කර පස්වළ තමන් අතට ගන්නට ලලිත් කන්නන්ගර කළ සැලසුම අවසානයේ ව්‍යාර්ථ විය. තම සොහොයුරු විසින් කරගෙන ගිය පස් කැපීමේ ව්‍යාපාරය තමන් සතු කරගන්නට මන්නා රොෂාන්ගේ බාල සොහොයුරා කටයුතු කළේය. මන්නා රොෂාන් මිය ගියාට පසුව පස්වළ තමන් සතු කරගත් මධුරංග එය සුපුරුදු පරිදි කරගෙන යන්නට පටන් ගත්තේය. මේ බව දැනගත් ලලිත් කන්නන්ගර යක්ෂාවේෂ වුණේය. “මං පස්වළ ගන්න රොෂාන්ව පරලොව ඇරියේ. දැන් උගේ මල්ලි ඒක අයිති කරගෙන. ඌටත් පාඩමක් උගන්වන්න වෙනවා” ලලිත් කන්නන්ගර ඩුබායි සිට මධුරංගට දුරකථනයෙන් කතා කළේය. “මල්ලි ඔය පස්වළ මං කරන්න හිතාගෙන ඉන්නෙ. ඒ නිසා උඹ ඕකට අතගහන්න එපා. පැත්තකට වෙලා හිටපං”

ලලිත් කන්නන්ගර මන්නා රොෂාන්ගේ සොහොයුරු මධුරංගට දුරකථනයෙන් කතා කර තර්ජනය කළේය. ඒ තර්ජන මධුරංග ගණනකට ගත්තේ නැත.

“උඹ මේ පස් වළට ඇහැ ගහගෙන මගේ අයියව මැරුවා කියලා මං දන්නවා. උඹට මාව බය කරලා මේක නතර කරන්න බැහැ. පුළුවන් දෙයක් කරපං”

මධුරංග ලලිත් කන්නන්ගරට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් පස් වළ පවත්වාගෙන ගියේය. ඒ වනවිට ලලිත් කන්නන්ගරට ඇතිවී තිබුණේ කෝපයට වඩා ලැජ්ජාවකි. ඔහු සිය කුලී ඝාතකයාට දුරකථනයෙන් කතා කළේය.

“සුධීර… අරූ මට ලොකු පාර්ට් එකක් දැම්මා. ඌට හොඳ පාඩමක් උගන්වන්න ඕනෙ. මධුරංග කියන එකා මොකෙක්ද? අපි ළඟටවත් එන්න පුළුවන් එකෙක්ද? ඌව ඉවරයක් කරලා දාපං. උඹ ඉල්ලන ගාණක් දෙන්නම්…”

ලලිත් කන්නන්ගර සුධීරට කීවේය. මන්නා රොෂාන් ඝාතනය කර වැඩි දවසක් ගත වන්නට පෙර ඔහුගේ බාල සොහොයුරා වූ මධුරංග පරලොව යැවීමේ සැලසුම ලලිත් කන්නන්ගර විසින්ම සකස් කළේය. හංවැල්ලේ පස් වළට ආසන්න පාළු ප්‍රදේශයක දී සුධීර මන්නා රොෂාන්ගේ බාල සොහොයුරු වූ මධුරංගට වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්ය. ඒ ප්‍රහාරය ද සුධීර එල්ල කරන්නේ තනිවමය. කිසිවකුගේ සම්බන්ධතාවයක් නොමැතිව තනිවම එල්ල කරන මේ ආකාරයේ ප්‍රහාර හෙළි කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. ප්‍රහාරයෙන් පසු සුධීර බළංගොඩ කල්තොටට පලාගොස් සිය අනියම් බිරිඳගේ නිවසේ සැඟ වී කාලය ගත කළේය. වසර ගණනක් ගතවුවද පොලිසියට මධුරංගගේ ඝාතකයා සොයාගැනීමට හැකි වුණේ නැත.



කාලය කෙමෙන් ගෙවී යන්නට විය. ලලිත් කන්නන්ගර හංවැල්ලේ ව්‍යාපාරිකයන්ට මෙන්ම ජනතාවට මහා පිල්ලියක් බවට පත් වෙමින් තිබුණේය.

හංවැල්ල ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය අලෙවියේ ප්‍රධානියා බවට පත්ව සිටියේ ලලිත් කන්නන්ගරය. ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ධනවතුන්ගෙන් මාසිකව කප්පම් මුදල් ඉල්ලා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීම දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය.

බොහෝ ව්‍යාපාරිකයෝ මේ පාතාල මැරයාට කප්පම් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළහ. ඒ ඔවුන් වජිර නිශාන්ත සමග සබඳතා පැවැත්වූ ව්‍යාපාරිකයන්ය. වජිර නිශාන්ත නිසා තමාට හංවැල්ලේ ව්‍යාපාරිකයන් කප්පම් නොදෙන බව ලලිත් කන්නන්ගර දැනගත්තේය. හංවැල්ලට සේන්දුවන්නට පෙර ලලිත් කන්නන්ගර ජීවත් වුණේ ඇඹිලිපිටියේ හද්දා පිටිසර ගමකය. ග්‍රීස්යකකු ලෙස ගමේ ගෙවල්වලට රිංගීමට ගොස් හසු වූ පසු ගම්මුන් ලලිත් කන්නන්ගරට පහර දී පන්නා දැමුවෝය. යනඑනමං නොමැතිව හංවැල්ලට ආ මේ පාපතරයාට නවාතැන් දී රැකියාවක් ලබාදුන්නේ හංවැල්ලේ බස් ව්‍යාපාරිකයකු වූ වජිර නිශාන්තය. කිසිම අණක් ගුණක් මනුස්සකමක් නැති පාපතරයකු වූ ලලිත් කන්නන්ගර තමන්ට කළ උපකාර සියල්ල පසු කලෙක අමතක කර දැමුවේය. ඩුබායි රාජ්‍යයට පලා ගිය පසු මේ පාපතරයා හංවැල්ලේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කිරීම සඳහා වජිර නිශාන්තගේ සහාය ඉල්ලා සිටියේය. ඉන් නොනැවතී ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීමට ද සහාය වන ලෙස කියමින් ඔහුට බලපෑම් කළේය. ඉතාම සාධාරණව හැමදෙනාටම උදව් උපකාර කරමින් දැහැමි ජීවිතයක් ගත කරමින් සිටි වජිර නිශාන්ත ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළේය. ලලිත් කන්නන්ගර අවසානයේදී වජිර නිශාන්තගෙන් කප්පම් ගන්න උත්සාහ කළේ හංවැල්ලේ ව්‍යාපාරිකයන් ඔහුට කප්පම් නොදෙන නිසාය. මුලින් රුපියල් කෝටියක කප්පම් මුදලක් තම දෙවැනි පියා බඳු වූ වජිර නිශාන්තගෙන් ඉල්ලා සිටිය ද පසුව ඒ මුදල ලක්ෂ 50ක් දක්වා අඩු කළේය.

එහෙත් එක සතපහක මුදලක් ලලිත් කන්නන්ගරට ලබාදීමට වජිර නිශාන්ත ප්‍රතික්ෂේප කළේය. දෙදෙනා අතර ආරවුල් හටගත්තේ එතැන් සිටය.

වරක් ලලිත් කන්නන්ගර තම පාතාල ඇම්බැට්ටයන් යොදවා වජිර නිශාන්තගේ වාහන අලෙවිසැලට සහ වාහන කීපයකට ගිනි තැබුවේය. තවත් වරෙක වජිර නිශාන්තගේ නිවසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කළේය. ලලිත් කන්නන්ගරගෙන් තම ජීවිතයට දිගින් දිගටම තර්ජන එල්ලවන බවට වජිර නිශාන්ත අවස්ථා ගණනාවකදීම හංවැල්ල පොලිසිය වෙත පැමිණිලි කළේය. එහෙත් පොලිසිය ඒ වෙනුවෙන් කළ යමක් නැත. ජීවිතය ආරක්‍ෂා කරගෙන සිටින්නැයි උපදෙස් ලබාදීම පමණක් පොලිසිය කළේය.

අවසානයේදී ලලිත් කන්නන්ගර වජිර නිශාන්තට මරණ වරෙන්තු නිකුත් කළේය. තම කුලී ඝාතකයා වූ සුධීරට නැවතත් ලලිත් කන්නන්ගරගෙන් කැඳවීමක් ලැබුණේය. “මේ පාර උඹට ලොකු වැඩක් භාර දෙනවා. කලින් කරපුවා වගේම මේකත් හරියටම කරන්න ඕනෙ. මං උඹට මේ වැඩේ වෙනුවෙන් ලක්ෂ 10ක් ගෙවනවා” ලලිත් කන්නන්ගර සුධීරට කීවේය.

“හරි හරි ලලිත් අයියා මං වැඩේ හරියටම කරන්නම්. කලින් කරපු එකක්වත් වැරදිලා නැහැනෙ” සුධීර කීවේය.

“වජිර නිශාන්ත මට මහා කරදරයක්. ඌව ඉවරයක් කරලා දාන්න ඕනෙ. ඌ මාව සත පහකට ගණන් ගන්නෙ නැහැ. ඌ නිසා හංවැල්ලෙ අනික් උන් මාව ගණන් ගන්නෙ නැහැ. උන්ටත් උණ ගැනෙන්න වජිරයට වැඩක් දෙන්න මං සේරම ලෑස්ති කරන්නම්” ලලිත් කන්නන්ගරගේ මිනිස් ඝාතන කොන්ත්‍රාත්තුව සුධීර භාර ගත්තේය. ඒ වනවිට ජීවිත තුනක්ම මේ කුලී ඝාතකයා විසින් බිලිගෙන තිබුණේය. මිනිස් ජීවිතයක් විනාශ කිරීම ඒ වනවිට ඔහුට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණේය. වජිර නිශාන්ත ඝාතනය සඳහා අවශ්‍ය කරන ස්වයංක්‍රීය ගිනි අවිය ලලිත් කන්නන්ගර සිය ගෝලයකු ලවා සුධීර අතට පත් කළේය. කොන්ත්‍රාත්තුව ලබාදුන් දාට පසුදා සිට ම සුධීර වජිර නිශාන්තගේ ගමන් බිමන් පිළිබඳව විමසිලිමත් වුණේය. දෛනික රාජකාරි නිමකර ඔහු සිය ඩබල් කැබ් රථයෙන් නිවසට පැමිණෙන බව සුධීර සොයාගත්තේය. වජිර නිශාන්තගේ නිවස ඉදිරිපිට කුඩා කැලෑ රොදක් විය. සුධීර දින දෙකක් රාත්‍රි කාලයේ මේ කැලෑ රොදට වී වජිර නිශාන්ත පැමිණෙන තුරු බලා සිටියේය. එහෙත් ඒ දින දෙකේම ඩබල් කැබ් රථයක් නිවසට ආවේ නැත. මේ සිද්ධියට දින කීපයකට පෙර වජිර නිශාන්ත තම කැබ් රථය විකුණා දමා තිබුණේය. ඔහු ඒ දින කීපයේම නිවසට ආවේ කුඩා යතුරුපැදියකින්ය.

වජිර නිශාන්ත යතුරුපැදියෙන් ආ නිසා සුධීරට ඔහු හඳුනාගන්නට නොහැකි විය. තුන් වැනි දිනයේ සුධීර වජිර නිශාන්තගේ නිවස අසල කැලෑවේ සැඟවී සිට රාත්‍රියේ තාප්පයෙන් පැන නිවස අසලට ආවේය. එදින වජිර නිශාන්තට මාරයා පරාජය කරන්න ඉඩක් ලැබුණේ නැත. තමන් විනාශ කිරීමට අරඅඳින පාතාල මැරයා නිවස ඉදිරිපිට සිටින බව නොදත් වජිර ආලින්දයේ පුටුවකට බරවූයේ වෙහෙස නිවාස ගැනීමටය.

ඒ අතර මාරයා ක්‍රියාත්මක වුණේය. සුධීර අත තිබූ ස්වයංක්‍රීය ගිනි අවිය ක්‍රියාත්මක වුණේය. වජිර නිශාන්ත ලේ විලක් මැද ඇද වැටුණේය.

වජිර නිශාන්ත වෙඩි තබා ඝාතනය කර ඔහුගේ කරේ බැඳ තිබූ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් මාලය ද කඩාගෙන යෑමට සුධීර නමැති පාතාලයා කටයුතු කළේය. මීට පෙර මන්නා රොෂාන් ඝාතනය කළ අවස්ථාවේද ඔහුගේ කර බැඳ තිබූ ලක්ෂ ගණනක රන් මාලය ද මේ පාපතරයා විසින් කඩාගෙන ගොස් තිබුණේය. වජිර නිශාන්ත වෙඩි තබා ඝාතනය කළ සුධීර එදින රාත්‍රිය ගත කළේ සිය මුල් බිරිඳගේ නිවසේය. පසුදා උදෑසනම ඔහු බළංගොඩ පිහිටි අනියම් බිරිඳගේ නිවස වෙත ගියේය. රුපියල් දස ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවකට වජිර නිශාන්ත වෙඩි තබා ඝාතනය කළද ඒ වෙනුවෙන් සුධීරය සත පහක මුදලක් ලැබුණේ නැත.

වජිර නිශාන්ත ඝාතනය සදාකාලිකව වැළලී යන අපරාධයක් වනු ඇතැයි සුධීර සිතා සිටියේය. එහෙත් නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ඔහුට ගැලවීමක් ලැබුණේ නැත.

හේමන්ත රන්දුණු