harin-uncle-politics

 දෙදහස් පහළොවේ ජනපතිවරණයෙන් පරාජයට පත් වුවද මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආවේය. මෛත්‍රිපාල සිරිසේනද අනුගමනය කළේ මහින්දගේ ක්‍රමය ය. දෙදහස් දහ නවයේදී ජනපති ධුරයට සමු දුන් ඔහු ඊළඟට පැවැති මහ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට ආවේය. එනමුත් ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ කීවේ යළිදු වරක් තමාට පාර්ලිමේන්තුවට යාමට බලාපොරොත්තුවක් නැති බවය. හිටපු ජනපතිවරයාට එම තීරණය ගැනීමට වැඩිම බලපෑම කළේ ඔහුගේ බිරිඳ වූ මෛත්‍රි වික්‍රමසිංහය. පාර්ලිමේන්තු යාම රනිල් වික්‍රමසිංහ අතහැරියද දේශපාලනය අතහරින්නට මනාප නොවීය. ඔහු තවමත් එජාප නායකයාය. මෙවර මහ මැතිවරණයේදී ඔහුගේ පක්ෂය තරග කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙනි. එය වෙනම පක්ෂයක් වුවත් එම පක්ෂයට ඇත්තේ එජාප ජානය. එජාපයේ මහ බලකණුවක් වූ ලලිත් ඇතුලත්මුදලිගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ නීතිඥ ශමිලා පෙරේරා එම පක්ෂයේ හිමිකාරිය ය. ඈ දැන් දේශපාලනය කරන්නේ ලලිත්ගේ දේශපාලන පුත්‍රයකු වූ රවි කරුණානයක සමගය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි ප්‍රචාරක කාර්යාලයේදී පැවැත්විණි. හිටපු මන්ත්‍රිවරුන්, ඇමැතිවරුන් රැසක් ඊට එක්ව සිටියහ. මැතිවරණ ප්‍රචාරණයේදී ලොකු රැස්වීම් නොතබා ගෙයින් ගෙට යාම සුදුසු බවට කළ යෝජනාව හිටපු ජනාධිපතිවරයාද පිළිගත්තේය.



මනාප සටනට ගියොත් සිලින්ඩරයට අමාරුයි

‘‘ගෑස් සිලින්ඩරයෙන් පළපුරුදු කණ්ඩායම රටට ඉදිරපත් කර ඇත්තේ. ඒ බව ජනගත කරන්න’’ හිටපු ජනාධිපතිවරයා කීවේය.

‘‘අපේ කණ්ඩායම මනාප සටන අඩු කළ යුතුයි. කුරුණෑගලින් එක් මන්ත්‍රිවරයකු බිහිවෙන්න ඡන්ද හැත්තෑපන් දහසකට වැඩියෙන් ගන්න ඕන. ඒක මනාප සටනට ගියොත් කරන්න අමාරුයි’’ හිටපු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.

ගෝඨා කෙළවාගත් හැටි

අරලිය ගහ මන්දිරයේ මුර කුටි කඩා ඉවත් කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කෙරුණි.

‘‘මුර කුටි කඩන්න රුපියල් මිලියන හැට නවයක් වැයවෙලා. ගංවතුරෙන් ආධාර කරන්න දීලා තියෙන්නෙ මිලියන පනහයි’’ හිටපු මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දුන්හ.

‘‘හා... හා... ඒකට මොකුත් කියන්න එපා. ඔය පාරේ බසුත් යවන්න ඕන. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් උද්ඝෝෂණය කරන්න තැනක් දීලා කෙළවා ගත්තා. මේවාට කලබල වෙන්න එපා’’ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ සිනහ සෙමිනි.

‘‘මට නම් හිතෙන්නෙ ජනාධිපති අනුර කුමාර ජනාධිපති මන්දිරය අසල පාර විවෘත කළානේ. අගමැතිතුමිය හිතන්න ඇති මුර කුටි කඩන්න’’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

අකිලට වැරදුණේ රාජ යෝගය නිසාලු

මෙම සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා සිය සමීපතමයකු වන එක්සත් ජාතික පක්ෂයේ උප ලේකම් අකිල විරාජ් කාරියවසම් ගැන විමසුවේ හිටපු මන්ත්‍රි අනුර යාපාගෙනි.

‘‘මම කතා කළා, ලබන සතියේ හම්බවෙන්න යනවා’’ හිටපු මන්ත්‍රිවරයාගේ පිළිතුර විය.

‘‘එයා වටේ ජ්‍යොතිෂ්‍ය කණ්ඩායමක් හිටියා. ඒ අය කීවා රාජ යෝගයක් තියෙනවා කියලා. දැන් දෙපැත්තම නැති වුණා’’ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග තමන් ලද තොරතුරක් හෙළි කළේය.

සාගල - සුසිල්ට

රනිල්ගේ සහාය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පැමිණි, මෙවර ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්තට මනාප ලකුණු කිරීමට ඡන්ද දායකයන් පොලඹවන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

‘‘මගේ අරමුණ වන්නෙ ඊළඟ පාර්ලිමේන්තුවේ සුසිල් හා සාගල සිටිය යුතු බවයි’’ හිටපු ජනාධිපතිවරයා පහදා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරාට මෙහිදී කීවේ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ හා ජාතික සේවක සංගමයේ බලය පක්ෂයට ලබාගත යුතු බවයි. හිටපු ජනාධිපතිවරයා ඉන් පසු මැතිවරණයේ මාධ්‍ය සැලසුම ගැන කතා කිරීමට කැඳවූයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න හා දිනුක් කොළඹගේය. මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා මැතිවරණ රැස්වීම් දහයක් පමණ ඇමැතීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයා වූ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය එස්.එච්. සමරතුංග ඇතුළු කණ්ඩායමක් මෙම සතියේ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවුයේ ඔහුගේ ආරාධනාවක් මතය. රටේ ආර්ථික තත්ත්වය හා අනාගතය ගැන මෙහිදී සාකච්ඡා කර තිබේ.

‘‘ආරම්භ කර තිබූ වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන ගියොත් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. එයින් පිට වැඩ කළොත් ප්‍රශ්නයක් වෙනවා’’ දෙපාර්ශ්වයේම අදහස විය. රට තුළ රුපියල් අර්බුදයක් නිර්මාණය වීම ගැනද මෙහිදී සාකච්ඡා කර තිබේ.

රනිල් තනිවම වැඩ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොය දින විශේෂ ප්‍රකාශය කළේය. එම ප්‍රකාශයට ඊට පෙර දින රටේ ආර්ථිකය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය එස්.එච්. සමරතුංගගෙන් දත්ත ලබාගෙන තනිවම සිය විශේෂ ප්‍රකාශය සකස් කරගත්තේය. ආර්ථිකය ගැන දීර්ඝ විස්තරයක් කළ ඔහු අවධාරණය කළේ රට බංකොළොත් භාවයෙන් මුදා ගැනීම සඳහා තමා යටතේ කටයුතු කළ පළපුරුද්දක් ඇති මන්ත්‍රිවරු පිරිසක් පාර්ලිමේන්තුවට එවන ලෙසය. එසේ නොවුණහොත් යළි පෝලිම් යුගයක් එන බවය. රනිල් වික්‍රමසිංහ ඔය කතාව ජනාධිපතිවණයේද කීවේය. එනමුත් ජනාධිපතිවරණයේදී ඔහු කී කතාව රටේ ජනතාව පිළිගත්තේ නැත. එය මෙවර පිළිගනීදැයි නොවැම්බර් 14 වැනිදා දැන ගැනීමට හැකි වනු ඇත.



පුතා වෙනුවෙන්

පියා වැඩ අරඹයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙවර මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට ඔහු පොළොන්නරුවට දැම්මේ සිය පුත් දහම් සිරිසේනය. ඔහු මැතිවරණයට ඉදිරිපත් කළේ සර්ව ජන බලයෙනි. තමන් දේශපාලනයෙන් ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර සිය පුත්‍රයා ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරන සර්ව ජන බලයෙන් ඉදිරිපත් කිරීමද දෛවෝපාගත සිදුවීමකි.

සිය පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් හිටපු ජනාධිපතිවරයා ගිරිතලේ ප්‍රදේශයේදී රැස්වීමක් සංවිධානය කළේය. ඊට ඔහුගේ දේශපාලන හිතවතුන් එක්ව සිටි අතර හිටපු ජනාධිපතිවරයා පළමුව ප්‍රකාශ කළේ, ‘‘ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා පස්සෙ මට පෞද්ගලිකව කියන්න. දැන් මෙතැන මැතිවරණය දින හැටි කතා කරමු’’ යනුවෙනි. ඒ අනුව පැමිණි පිරිස ප්‍රශ්න ගැන කතා නොකර මැතිවරණය ගැන කතා කළහ. මෙහිදී අනාවරණය වූයේ හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික්කය පුරා රැකියා හතළිස් දෙදහසක් දී ඇති බවයි.

‘‘මම ඔවුන් සියලු දෙනාම හමුවෙලා පුතාට උදව් කරන්න කියා ඉල්ලනවා’’ හිටපු ජනාධිපතිවරයා කීවේය.

උදය දෙබරයට ගල් ගහයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා දෙකක් පිළිබඳව මහ මැතිවරණය ප්‍රකාශයට පත්කර සතියක් තුළ කරළියට ගෙන ආවේ සර්ව ජන බලයේ මන්ත්‍රි ධුර අපේක්ෂක උදය ගම්මන්පිලය. එස්.අයි. ඉමාම් වාර්තාව හා ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව ගැන ඔහු ප්‍රකාශ කළේ මෙම වාර්තා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දී තිබූ බවයි. එම වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියත් එය ඉටුවූයේ නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල් හිමිපාණන් සමග මීගමුව කටුවාපිටිය දේවස්ථානයට ගිය අවස්ථාවෙන් පසු මන්ත්‍රි උදය ගම්මන්පිල කීවේ මෙම වාර්තා දෙකත් ජනාධිපතිවරයාට රැගෙන යාමට තිබූ බවයි. ඉන් පසු මන්ත්‍රිවරයා පැවැසුවේ වාර්තා දෙක ජනාධිපතිවරයා ප්‍රසිද්ධ නොකළොහොත් තමන් ප්‍රසිද්ධ කරන බවයි. ජනාධිපතිවරයා වෙත දුන් වාර්තා දෙකක් මන්ත්‍රිවරයකු අතට පත්වූයේ කෙසේද යන්න ආණ්ඩුවටද ප්‍රශ්නයක් විය. කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවැසුවේ ඒ ගැන පරීක්ෂණ කළ යුතු බවයි.

එහෙත් මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කරන්නේ පසුගිය දසවැනි බ්‍රහස්පතින්දා තැපෑලෙන් ලොකු පාර්සල් දෙකක් ලැබුණු බවයි. මෙම පාර්සල් දෙක තිබුණේ නිර්නාමිකවයි. විවෘත කර බලන විට එහි පාස්කු ප්‍රහාර කමිටු වාර්තා තිබෙන බව මන්ත්‍රිවරයාට අවබෝධ විය. ඔහු පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය කැඳවා මෙම වාර්තාවලට කුමක් කරන්නේදැයි විමසුවේය.

‘‘රාජ්‍ය රහස් හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්’’ පක්ෂයේ නීති ලේකම්වරයා කීවේය. තර්ක විතර්ක මැද අවසන් තීන්දුව වූයේ වාර්තා දෙක ස්කෑන් කර අන්තර්ජාලයේ රහසිගතව ගබඩා කිරීමටය. මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට වාර්තා ප්‍රසිද්ධ කිරීමට දුන් කාලය අද (20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ජනාධිපතිවරයා ප්‍රසිද්ධ නොකළහොත් හෙට (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට මන්ත්‍රිවරයා සූදානමින් සිටියි.



නැන්දම්මා හරින්ට බාල්දි දමයි

හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු දේශපාලන ගමන ආරම්භ කළේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. වත්තල උපන් ඔහු බදුල්ලට පැමිණියේ විවාහය හේතුවෙනි.

බදුල්ලට ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත් කළ ඔහු, බදුල්ලේ යන ගමනේදී දුන්හිඳ දියඇල්ල බැලීමට ගිය මොහොතක පාර්ලිමේන්තු මන්ත්‍රි වින්සන්ට් ඩයස්ගේ දියණියක මුණ ගැසුණේය. ඔහු සමග පෙමින් වෙළී විවාහ වීමෙන් පසු ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කළේ ඉක්බිතිව සජිත්ට සහාය පළ කරමින් සමගි ජන බලවේගයට එක්වූයේය. එම පක්ෂයෙන්ද ඉවත් වූ හරින් ප්‍රනාන්දු, රනිල් වික්‍රමසිංහ ජනපති වීමෙන් පසු ඔහුගේ ආණ්ඩුවේ ඇමැති ධුර දැරීය. ඔහුට මන්ත්‍රි ධුරය අහිමි වුණේ අධිකරණ නියෝගයකිනි.

බදුල්ල දිස්ත්‍රික්කය අතහැර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ කොට්ඨාසයෙන් දේශපාලනය කළ ඔහු, මෙවර බදුල්ලට පැන මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. ඒ, ගෑස් සිලින්ඩරය ලකුණෙනි. ඔහුගේ ප්‍රතිවාදිනිය වන්නේ නැන්දම්මාය. සුසිලා ඩයස් වන නැන්දම්මා සමගි ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කරන්නීය. නැන්දම්මාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ මාමණ්ඩිය වන හිටපු මන්ත්‍රි වින්සන්ට් ඩයස්ය. හාලිඇළ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකදී හිටපු මන්ත්‍රිවරයා සිය බෑණා වන හරින් ප්‍රනාන්දු පතුරු ගැසුවේය.

‘‘තාත්තා නැති වුණායින් පසු හරින් මොළේ නැති මිනිහෙක් වුණා. මාමා හැටියට හරින් ගැන කතා කරන්න කැමැති නැහැ. වසර පහකින් බදුල්ලට ආවේ නැති බෑනා දැන් යළි ඇවිල්ලා. මම ඔහු බදුල්ලෙන් දේශපාලනයට ඉදිරිපත් කළේ පිරිසුදු චේතනාවෙන්. මේ පාර ඔහුට බදුල්ලත් නැහැ, වත්තලත් නැහැ. දේශපාලනයෙන් හොඳ කනේ පාරක් කනවා. අපි එකතු වෙලා හරින්ගේ නැන්දම්මා පාර්ලිමේන්තු යවමු’’ හිටපු මන්ත්‍රි වින්සන්ට් ඩයස් සිය බෑනාට එරෙහිව මැතිවරණ වේදිකාවේ කතා කළේ එලෙසිනි.

රාජපක්ෂවරුන්ට එරෙහිව පොහොට්ටුවෙන් මුලින්ම එළියට බැස රනිල් වික්‍රමසිංහට සහාය දීමට ආවේ නිමල් ලන්සාය. කලක් රාජපක්ෂවරුන්ගේ අතිශය සමීප හිතවතකු වූ ඔහු, රනිල් ළඟට යාම ගැන බැසිල් රාජපක්ෂ සිටියේ කෝපයෙනි. ලන්සාට ජනාධිපති ලේකම් කාර්යාලයේ දුන් කාර්යාලය ඉවත් කර ඔහු සමග ඇති ඇසුර නතර කරන ලෙස බැසිල්, රනිල්ගෙන් ඉල්ලීමක් කළද ඔහු එය නොසලකා හැරියේය. රනිල් ඡන්දයෙන් පැරදුණද ලන්සා ඔහු සමග විය. මේ අතරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිමල් ලන්සාට ගිය සතියේ දුරකථන ඇමැතුමක් දී ආගිය තොරතුරු කතාබහ කළේය.

‘‘කොහොමද ලන්සා තොරතරු.. රැස්වීම් ටික පටන් ගත්තද?’ හිටපු ජනාධිපතිවරයා විමසීය.

‘‘ඔව් සර්, කරගෙන යනවා. පාක්ෂිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තියෙනව’’ ලන්සා කීවේය.

‘‘ඔව්, මමත් හොයල බැලුව ඔයා ඉතින් මිනිස්සු එක්ක හැමදාම හිටපු කෙනෙක්නෙ. වරදින්න විදියක් නෑ’’ හිටපු ජනාධිපතිවරයා කීවේය.

එසේ කියමින් හිටපු ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කළේ අනෙක් දිස්ත්‍රික්කවල ගෑස් සිලින්ඩරය යටතේ තරග වදින අපේක්ෂකයන්ගේ වැඩ පිළිබඳවද හැකි නම් සොයා බලන්නැයි පවසමිනි.

චන්ද්‍රිකා - රනිල් - මෛත්‍රි එකම වේදිකාවේ

දෙදහස් පහළොවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කරවීමට තිරය පිටුපස සිට මහ වැඩ මෙහෙයුම කළේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකය. එජාප නායක රනිල් වික්‍රමසිංහද තීරණාත්මක කොටසක් කළේ ය. එනමුත් මෛත්‍රි ජනපති වූ ටික කලකට පසු ඔවුන් දෙදෙනා සමග විරසක විය. ප්‍රසිද්ධියේ බැණ ගත්හ. මෛත්‍රි රනිල්ව අගමැති ධුරයෙන් එලවා මහින්ද පත්කර ගත්තේය.

පසමිතුරන් වූ මේ තිදෙනා ඉකුත් 16 වැනිදා එකම වේදිකාවකට නැගී මහ හඬින් සිනාසෙමින් සතුටු සාමීචියේ යෙදුණේ දේශපාලනයේ සදාකාලික සතුරන් නැති බවට කියන කතාව යළිඳු වරක් පසක් කරමිනි. මේ තිදෙනා මෙසේ එක් වූයේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වැනි ජාතික සමුළුවේදීය. එහිදී සටන මෙහෙය වූ නිවේදකයා කීවේ ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරවල, ප්‍රධාන විධායක නිලධාරීහු ගණකාධිකාරවරයන් වුවත් රටේ ජනපති ධුරය දැරීමට එවැනි අයෙක් නැති බවය. ඊට උත්තර දුන් මෛත්‍රිපාල කීවේ කිසිදු ගණකාධිකාරිවරයෙක් ජනපතිවරණයට තරග නොකළ බවය. අවස්ථාවෙන් ප්‍රයෝජනයගත් රනිල් කීවේ ගණකාධිකාරින්ට එජාපයට එක්වන්නට ආරාධනා කරන බවය. ගණකාධිකාරිවරයෙක් ජනපති නොවූවත් එජාප සභාපති වූ පණ්ඩිතරත්න ගණකාධිකාරිවරයෙක් බවත්, මහවැලිය දියුණු වූයේ ඔහු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය දැරූ නිසා බවත්ය.

මෙහිදී දේශපාලනඥයන්ගේ හොරකම් ගැන කතාබහක්ද ඇති විය. ඊට උත්තර දුන් මෛත්‍රිපාල කීවේ අමාත්‍යාංශ ලේකම් හා ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ අනුදැනුම නොමැතිව ඇමැතිට හොරකම් කිරීමට නොහැකි බවත්, ඇමැති හොරකම් කරන විට ඔවුන් දෙදෙනාත් ටිකක් හොරකම් කරන බවය. රනිල් මෛත්‍රි අතර පැවැති දේශපාලන අරගලය ගැන නිවේදකයා ඇසූ ප්‍රශ්නයට උත්තර දුන් මෛත්‍රි කීවේ අයියා මරා මල්ලි රජකම ගත් ඉතිහාසයක් අපට තිබෙන බවය. මෛත්‍රිගේ උත්තරයට ක්ෂණික ප්‍රති උත්තරයක් දුන් චන්ද්‍රිකා කීවේ ඔබත් අගමැති කෙනෙක් මරලා තව අගමැති කෙනෙක් පත් කරගත් බවය. ඈ මෙසේ මතක් කළේ රනිල් අගමැති ධුරයෙන් පහකර මහින්ද පත්කර ගැනීම ගැනය. හිටපු ජනාධිපතිවරු තිදෙනා කී මේ කතා නිසා ගණකාධිකාරිවරුන්ගේ සමුළුව සිනා සාගරයක ගිලී තිබිණි.
(ඉරිදා අරුණ- ජනරජය , සටහන- උදයජීව)