harini-amarasuriya-anthare

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමග පැවති හමුවකට එක්වෙමින්
විශ්වවිද්‍යාල පද්ධතියෙහි පවතින ගැටලුවලින් කෙටි කාලීන විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවත්, අධ්‍යාපනය සඳහා පොදු වැඩපිළිවෙළක් සකස් කර අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.



ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ගැටලු, සායනික පහසුකම් නොමැති වීමෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරගත නොහැකිව සිටින වෛද්‍ය සිසුන්ගේ ගැටලු ආදී වූ කෙටිකාලයකදී විසඳුම් ලබාදිය යුතු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බව ඇය සඳහන්කරනු ලැබුණි.


අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ (17දා) දින පැවති සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරිණ. පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ ඇතැම් යෝජනාවලට එකඟ නොවන බව ද අග්‍රාමාත්‍යවරිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් හමුවේ පවසා ඇතැයි වාර්තා විය.




වත්මන් රජය යටතේ අධ්‍යාපනය සඳහා පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිදු කරන බව ද ඇය සඳහන් කරයි. මෙම සාකච්ඡාව සඳහා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය සහ මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.