homagama-land-registrar

 හොර ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයාට දීමේ චෝදනාවට වරදකරු වූ හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවම් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රුපියල් 1500/-ක දඩයකට ද ඔහු ඊයේ (09) යටත් කළේය.




විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් චෝදනාවට වරදකරු කළ හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචි ගමගේ සමන් කුමාර නමැත්තකුට මෙලෙස දඬුවම් නියම කෙරිණි. 2010 ඔක්තෝබර් 05 වැනිදාත් 2011 නොවැම්බර් 10 වැනිදාත් අතර කාලයේ බොරැල්ල සුපිරි වෙළෙඳ සංකීර්ණයේ දී ව්‍යාජ අන්දමින් ඉඩම් ඔප්පුවක් සෑදීම,

එම ඔප්පුව ව්‍යාජ බව දැන දැනම ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කිරීමෙන් කූඨ ලේඛන සැකසීම යටතේ විත්තිකරුට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශය මෙම නඩුව පවරා ඇත.


ගාමිණී සුසන්ත වෙල්ගම මහතා කළ පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.නඩුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාක්ෂි විමසීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ දඬුවම් නියම කළේය.
(රෝෂන් තුෂාර)