hortain-plains-court

 සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේණික වූ ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා ඊයේ (15දා) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා සැකකරුවන් දෙදෙනාට රු. එකොළොස් කෝටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු මහතා නියෝග කළේය.




මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන අයටයි. සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවිමට නියෝගයක් ලබාදෙන ලෙසත්, ඊයේ (15දා) එම දඩ මුදලෙන් ලක්ෂ 15ක මුදලක් අධිකරණය වෙත ගෙවන බවත්ය.


එම ඉල්ලීමට වනජීවී නිලධාරීන්ගේ විරෝධයක් මතු නොවූ නිසා දෙපාර්ශ්ව පිළිබඳව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා යළිත් මෙම නඩුව ලබන මස 26 දින කැඳවීමට නියෝග කළ අතර, දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රඳවා ගැනීමට නියෝග කළේය.




සැකකරුවන් දෙදෙනා ඉකුත් අගෝස්තු මස 28 දින එම රක්ෂිතවලට ඇතුළු වී ජෛව සම්පත් මංකොල්ලකමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑලිය හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල, නුවරඑලිය ගැල්වෙස්ට්‍රැන්ඩ් ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රභාෂ් කරුණාතිලක යන මහතුන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සිංහරාජ ලෝක උරුම වනාන්තරය වෙත ගොස් වැටලීමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී සැකකරුවන් නවාතැන්ගෙන සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සඟවා තිබූ ජෛව සම්පත් 230ක් තම භාරයට ගත් බව එම වැටලීමට එක් වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල මහතා පැවසීය.


එම සැකකරුවන් දෙදෙනා ඉකුත් අගෝස්තු මස 29 දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. එක් සැකකරුවෙකුට චෝදනා 1067 බැගින් ගොනු කළ බවත්, වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කළ වැඩිම දඩ මුදල මෙය බවත් ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා පැවසීය.




සැකකරුවන් විසින් එක්රැස් කර තිබුණේ කුමන සජීවී සත්ව කාණ්ඩයක්ද යන්න පිළිබඳව වාර්තාවක් සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් සහ සතුන් මත් කිරීම සම්බන්ධයෙන් පසුපරේශ්ෂණ ආයතනයෙන් වාර්තා කැඳවා එම වාර්තාද අධිකරණය හමුවේ ඉදිරිපත් කළ බව ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා කීවේය.එම චූදිතයන් දෙදෙනා මෙරටට ආවේණික දුම්බර අං කටුස්සා, පලා කටුස්සා, ඇහැටුල්ලා, කණාමැදිරියන්, ගොළුබෙල්ලන් සහ සිංහරාජ වනාන්තරයට ආවේණික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් එක්රැස් කර තිබුණි.
(රංජිත් රාජපක්ෂ)


වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතවලට ඇතුළු වී මෙවැනි ජෛව සම්පත් මංකොල්ලකෑම් සිදු කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිර්මට නිරන්තරයෙන් කටයුතු කරන බවද ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා වැඩිදුරටත් පැවසීය.වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත්, මෙම මෙහෙයුමට හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ක්ෂේත්‍ර සහායක ඇල්කඩුව මහතා සහ රියදුරු මහතා සහභාගි වී ඇත.