ස්වාධීන රූපවාහිනිය ටෙලිනාට්‍ය මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළ යටතේ ටෙලිනාට්‍ය තෝරා ගැනීමට ප්‍රධාන කමිටු හතරක සහාය ලබා ගැනීමට තීරණය කොට ඇත.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකාවල විකාශය කිරීම සඳහා මිලදී ලබා ගන්නා ටෙලිනාට්‍ය තෝරා ගැනීමේ පැවතුන ක්‍රමවේදය මේ වන විට මුළුමනින්ම වෙනස් කර තිබේ.
ඒ අනුව පෙර දසුන් (Preview) සිදු කිරීම සඳහා ප්‍රවීණයින්ගෙන් සමන්විත අභ්‍යන්තර පෙර දසුන් කමිටු දෙකක් සහ බාහිර පුද්ගලයින්ගෙන් සමන්විත පෙර දසුන් කමිටු දෙකක් ද පත් කර තිබේ.
අභ්‍යන්තර කමිටු දෙක තුළ වෘත්තීය සමිති, අලෙවි අංශය සහ සාමාන්‍ය ප්‍රේක්ෂක දෘෂ්ටිකෝණයෙන් පුද්ගලයකු බැගින් වන සේ පුද්ගලයින් හය දෙනෙකුගෙන් සමන්විත වන පරිදි පත් කර ඇත. බාහිර පෙර දසුන් කමිටු සඳහා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ නියෝජිතයන් සහ දිවයිනේ ප්‍රකට හා ප්‍රවීණ කලාකරුවන් නියෝජනය කරමින් කමිටු දෙකක් ද පත්කර තිබේ.
මෙම විමර්ශනයේදී කරුණු 10ක් සඳහා ලකුණු ලබාදෙනු ලැබේ. පෙර දසුන් නැතිනම් Preview වලදී විශේෂයෙන් අවධානය යොමු කරන කරුණු දහයක් ඇති අතර මෙම ලකුණු ලබාදීමේ විශේෂ ක්‍රමවේදය අන්තර්ජාතිකව පිළිගත් නිර්ණායක මත පදනම් වී තිබේ.
මෙම කමිටු හතරෙන් ලැබෙන නිර්දේශය අධීක්ෂණය කර ඒවායෙන් ලැබෙන ලකුණු ප්‍රමාණයන් සාමාන්‍යකරණය කිරීම සඳහා පස් වැනි කමිටුවක් පත්කර ඇත. මෙම පස්වෙනි කමිටුව වෙතින් ලබාදෙන නිර්දේශ පදනම් කරගෙන වැඩසටහන් මිලදී ගන්නා කමිටුව මිලදී ගන්නා නාට්‍ය පිළිබඳව වන අවසන් තීරණය ගනු ඇත.
මෙහි අරමුණ වී ඇත්තේ මීට පෙර මෙම ආයතනය වෙත ටෙලිනාට්‍ය මිලදී ගැනීමේ දී සිදුවූවා යැයි කියන විවිධ අකටයුතුකම් මැඬපැවැත්වීමයි. වත්මන් පාලනාධිකාරිය ක්‍රියාවේ යොදවා ඇති මෙම නව වැඩපිළිවෙළ මඟින් ටෙලිනාට්‍ය මිලදී ගැනීමේ වැඩපිළිවෙළ වඩා විනිවිදභාවයකින් සිදු කිරීම සහ වග වීම යන සංකල්ප බලාපොරොත්තු වේ.
මීට අතිරේකව ටෙලිනාට්‍යයක් පෙර දසුන් සඳහා භාර දුන් විට අදාළ නාට්‍ය භාරගත් බවට ලිඛිතව නිල ලිපියක් ආයතනය නිකුත් කරනු ලබන අතර සති දෙකක් තුළ පෙරදසුන් නරඹා අවසන් කොට අදාළ කමිටු වාර්තා සමඟින් නාට්‍යය මිලදී ගන්නවාද? නැද්ද ?යන්න පිළිබඳව අදාළ නිෂ්පාදකවරුන් වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත නියෝග කර ඇත.
(ජයසිරි මුණසිංහ)
0 Comments