jayasuriya-one-and-half-contract


ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීමත් සමගින් ජයසූරිය මහතා මෙතෙක් දරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක ' නතුරෙන් ඔහු ඉවත්ව යනු ඇත. ජාතික පුහුණුකරු යනු වගකීම් බහුල පූර්ණ කාලීන තනතුරකි.

පසුගිය ජූනි මාසයේදී ඇමරිකා එක්සත් ඇමරිකා ජනපදයේදී සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැති විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර පුරප්පාඩු විය.

ඒ සමගම වාගේ ආරම්භ වූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සනත් ජයසූරිය මහතා තාවකාලික පදනමක් මත පුහුණුකරු ධූරය බාර ගත්තේය.


ජයසූරිය මහතා පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව පැවැති පළමු වැනි විස්සයි - 20 තරඟාවලිය ඉන්දියානුවන් හමුවේ පරාජය විය. එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම හිස ඔසවන්නට විය.වසර 27 කට පසුව ඉන්දියානුවන් හමුවේ ද්විපාර්වික එක්දින තරගාවලියක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙසින් පරාජය වූවත් ඕවල් ටෙස්ට් තරගය ජය ගත්තේය.


අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී නවසීලන්තය 2-0 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානය දක්වා ඉහළ නැංගේය. ජයසූරිය මහතා පුහුණු කරු ධූරය බාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස එසවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ජයසූරිය මහතාට

වසර එක හමාරක කොන්ත්‍රාත්තුවක් දී තිබේ. මීළඟ විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලිය (2026) දක්වාම ජයසූරිය මහතාගේ කොන්ත්‍රාත්තුව බල පැවැත්වෙනු ඇත.


වසර 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි සහ මාර්තු මාස වලදී ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවත්වෙයි. ශ්‍රී ලංකාව වසර 2012 දී විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීය. ඉන්දියාව වසර 2016 දී විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරය දැරීය. 2026 දී රටවල් දෙකම ඒකාබද්ධව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරනු ඇත.