kalpa-gunaratne-incident-sarasavi-bmich

පසුගිය සතිය තුළ පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සරසවි පොත් සලේ අලෙවි කුටියක් ආසන්නයේදී එම අලෙවි සලේ සේවකයෙකු හා නරඹන්නෙකු අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු නරඹන්නාට සේවකයා පහරදීමේ සිදුවීමක් වාර්තා විය.
මෙම පහරදීම අසාධාරණ ලෙස සිදුවන අයුරු ඒ ආසන්නයේ සිටි මාධ්‍යවේදියෙකු දැක තිබූ අතර ඔහු සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කර අන්තර්ජාලයට එක් කළේය. කෙසේ වෙතත් කැකිල්ලේ තීන්දුවක් ගෙන පොලිසිය සිදුවීමට අදාළ අය වෙනුවට වීඩියෝ කළ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන තිබුණි.


සරසවි කුටියේ ඇතුළ්වන ස්ථානයෙන් පිටවන්නට උත්සාහ දැරීමේදී ඇතිවුණ බහින් බස්වීමක් හා පොලිස් නිලධාරියෙකු සිය බිරියට කළ බැණවැදීමක් මුල් කරගෙන නරඹන්නා ගැටුමට පිවිස තිබූ අතර නරඹන්නාට පහරදීමට සරසවි සේවකයා ක්‍රියාකළ අවස්ථාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඒ දෙස බලා සිටියා මිස ගැටුම වැළැක්වීමට කිසිවක් කර නොතිබූ බවද වාර්තා විය. ආසන්නයේ සිටි පිරිස් ගැටුම වළක්වන්නට දෙන්නා දෙපැත්තට කර ඇති අතර පොලිසිය කැකිල්ලේ තින්දුවක් ගෙන ඇත්තේ ඉන් පසුවය.



මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කළ ආකාරය ගැටලුසහගත බවත්, ඒ අනුව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට වහාම මැදිහත් වන ලෙස වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් සමගි ජන සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුව තිබෙන බවත්, එම මාධ්‍යවේදියාට අවශ්‍ය නීතිඥ සහාය ලබා දීම සඳහා සමගි නීතිඥ සංගමයට විපක්ෂනායකවරයා උපදෙස් ලබා දී ඇති බවත් එහි සඳහන් කර ඇත.

යූටියුබ් මාධ්‍යවේදියෙකු වන කල්ප ගුණරත්න මහතා මෙම සිදුවීමට මුහුණ පා තිබේ.