kamal-uvindu-wijeweera

මෙවර මහ මැතිවරණයට ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව අද (09) තලවතුගොඩදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරන අතර කමල් ඔවුන් සමග එක්ව මැතිවරණයට තරග කරයි.


පසුගිය ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයට

සහය පළකරමින් එම කලා ශීල්පී හමුවටද සහභාගී වූ කමල් අද්දර ආරච්චි අනුර ජනපති පදවියට පත්වූ පසු මාලිමාවෙන් අවස්ථා‍වක් දෙතොත් මහමැතිවරණයට තරග කරන්නට අපේක්ෂාවෙන් පසුවන බවට මාධ්‍ය වෙත අදහස් දැක්වූ නමුත් ඔහුගේ යෝජනාවට ජාතික ජන බලවේගයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබුනේ නැත.
උවිඳු විජේවීර මෙහෙයවන දෙවන පරපුර පක්ෂය සමග කමල් එක්වූයේ මෙයින් පසුවයි.
රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලනය  අළලා නිෂ්පාදනය වූ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ විජේවීර චරිතය රඟපෑවේද කමල්ය.
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා සිය තීරණය පිළිබඳ අද මෙසේ කීය.


"හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ."