katuwapitiya-anura

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර, එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත්, එම වින්දිතයන්ට ඉතා ඉක්මනින් සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග ඊයේ (6) මීගමුව, කටුවාපිටිය ශාන්ත   සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.



 

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ඊයේ පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි වීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුපෝපහාර දැක්වීය. ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි. අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ලෙස ඔවුන්ගේ ගැටලු ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.


මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වැනිදා බවත්, එම ඛේදවාචකය, කාලයේ වැලි තලාවට යටපත් කර මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාව ද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.


මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවැසූ ජනාධිපතිවරයා, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළැඹ, එම නිගමනය සාර්ථක කරගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමකින් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේය.

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වී ද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක්

බවත් පැවැසූ ජනාධිපතිවරයා, මෙරට දේශපාලනය පවතින්නේ එවන්  අන්තයක නම් පළමුවෙන්ම එම තත්වය මුලිනුපුටා දැමිය යුතු බව අවධාරණය කළේය.එවකට පැවැති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවා දැයි යන සැකය ද සමාජයේ පවතින බවත්, එවන් තත්වයක් පවතින්නේ නම්, අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්වයක් තිබෙන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ඒ අනුව, දෙවැනුව, මෙහිදී සිදු වූයේ කුමක් ද යන්න හෙළිදරව් කරගැනීම වඩා වැදගත් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. තෙවැනුව, ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරණීයයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා පැවැසීය.


එසේම, මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.




සමාජය තුළ පැවැති බැඳීම්, සෙංගතු බව, විශ්වසනීයත්වය පළුඳු වී, අනෙක් ජන කණ්ඩායම් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැකයෙන් බැලීමට සිදු වූවා නම් එය සමාජයේ යහපැවැත්මට විශාල තර්ජනයක් බවත්, සමාජය තුළ ඇති වූ එම තත්වය හේතුවෙන් ද මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවැසුවේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටු  කරගැනීමට ජිනීවා  මානව කොමිසමට පැමිණිලි නොලැබුණු බවයි. විපතට පත්වූවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයන් කටයුතු කළත්, මෙම ප්‍රහාරයට හේතුව කුමක් ද යන ප්‍රශ්නය ජනතාව තුළ තිබෙන බව ද කාදිනල්තුමෝ පැවැසූහ. මෙරට ජනතාව තුළ අනුර කුමාර දිසානයක මහතා කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත්, එතුමාගේ අවංකභාවය පිළිබඳව තමන් අගය කරන බවත් පැවැසූ කාදිනල්තුමන් සඳහන් කළේ, එම අවංකභාවය සහ ළෙන්ගතුකම ජනතාව හමුවේ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවය.


ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කාදිනල්තුමා වැඩිදුරටත් පැවැසීය.කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා සමග පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(රංජන් කස්තුරි)