keheliya-daughter-video

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්පටිගතකළසංස්කරණයනොකළවීඩියෝ දර්ශන කුරුඳුවත්ත පොලිසියට දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනී මාධ්‍ය ආයතනවලට ඊයේ (21) නියම කළේය.




හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩම් තැබීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කුරඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු දක්වමින් මීට පෙර දුන් අධිකරණ නියෝගයට අනුව රූපවාහිනී ආයතන කීපයක් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති විකාශනයේදී ප්‍රචාරය කළ දර්ශන ලබාදී ඇතත් සංස්කරණය නොකළ දර්ශන මෙතෙක් ලබාදී නොමැති හෙයින් අදාළ දර්ශන දෙන ලෙස රූපවාහිනී ආයතනවලට නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.


හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩම් තැබීමෙන් සාපරාධී බිය ගැන්වීමක් කළැයි කියන සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර චමල් මහතා අධිකරණයේ පෙනී සිටියේය. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය කළ

පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කුරඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.


මීට පෙර දුන් අධිකරණ නියෝගයට අනුව රූපවාහිනී ආයතන කීපයක් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති විකාශනයේදී ප්‍රචාරය කළ දර්ශන ලබාදී ඇතත් සංස්කරණය නොකළ දර්ශන මෙතෙක් ලබාදී නොමැති බවත් සංස්කරණය නොකළ දර්ශන ලබාදෙන ලෙස රූපවාහිනී ආයතනවලට නියම කරන්නැයි ඉල්ලා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අදාළ සංස්කරණය නොකළ දර්ශන ලැබුණු පසු ඒවා නීතිපතිවරයා වෙත යොමු කර උපදෙස් ලබා ගත යුතු යැයිද දැනුම් දුන්හ.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මර්වින් සිල්වා මහතා කරුණු දක්වමින් දේශපාලන කාරණා පදනම් කරගෙන පවරා ඇති මෙම නඩුවට අදාළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසු සිය සේවාදායකයා මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසු ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවන්නේ නම් සැකකරු මුදාහැරීම පිළිබඳ තීරණයක් දෙන බව සඳහන් කළේය.අදාළ වීඩියෝ දර්ශන පොලිසියට දෙන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.
(රෝෂන් තුෂාර)