The-Kelaniya-University-student-fell-while-urinating-from-the-hostel-window

 කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරයේ හතරවැනි මහලින් බිමට ඇද වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා මහත්මිය ඔහුගේ පපුවට හා කොඳු ඇට ප්‍රදේශයේ අස්ථි බිඳී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිඳීම හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිඛෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළාය.






මෙම සිද්ධියෙන් මියගියේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකාරී අංශයේ සිව්වැනි වසරේ සිසුවකු වන බිබිල, රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති විසිහතර හැවිරිදි සිසුවෙකි. පෙරේදා (23 වැනිදා) අලුයම කාලයේ වූ මෙම සිද්ධිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව වැඩබලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය පෙරේදා ( 23 වැනිදා ) දහවල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් නිරීක්ෂණය සිදු කොට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මහ රෝහලට යවන ලෙසට කැලණිය පොලිසියට නියෝග කළාය. මේ අනුව පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (24 වැනිදා) රාගම මහ රෝහලේ දී පැවැත්විණි.




ඉකුත් 22 වැනිදා රාත්‍රී සිසුන් පිරිසක් සමග එම නේවාසිකාගාරයේ සාදයක් පවත්වා තිබෙන අතර මියගිය සිසුවා ද එයට සහභාගි වී ඇතැයි පොලිසිය පවසයි.පසුව මියගිය සිසුවා රාත්‍රී 12.30 ට පමණ සිය කාමරයට පැමිණ අලුයම තුනට පමණ යළි නැගිට ශාරීරික අවශ්‍යතාවක් සඳහා නේවාසිකාගාරයේ ජනේලයකින් කකුලක් එළියට දමා ඒ මත වාඩිවීමට සූදානම් වූ අවස්ථාවේ බිමට ඇදවැටී ඇතැයි කියති.

(ඩබ්ලිව් ඩී.එම්. විතානගේ)