kesbewa-incident

යාබද නිවෙසක බැළලියක සිය වත්තට ආවාට උරණව පොල්ලකින් ගසා අමානුෂික ලෙස මරා දැමූ බව කියන අයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව කැස්බෑව පොලීසිය කියයි.කැස්බෑව හොරණ පාරේ කාන්තාවක ඉකුත් දිනෙක පානදුර ප්‍රදේශයේ තම සහෝදරයකුගේ නිවෙසට ගොස් පැමිණෙමින් සිටියදී කිසියම් අයකු මහමග අතහැර දමා ගොස් සිටි බැළලියක සහ පැටවකු නිවෙසට රැගෙනවිත් ආදරයෙන් රැකබලාගෙන ඇති අතර, ඒ අතරතුර මෙය සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.






සුරතලයට ඇති කරන ලද මෙම බැළලිය සහ ඇගේ පැටවා සම්බන්ධයෙන් සොයා බැලීමේදී බැළලිය පෙනෙන්නට නොසිටීම හේතුවෙන් 'කියාරා' යනුවෙන් පවසා අඬගසමින් නිවෙසේ සෑම තැනකම සොයා බලා, අනතුරුව නිවෙසට පැමිණෙන මාර්ගයේ ද සොයා බැලීමේදී බැළලිය මුවින් සහ නහයෙන් ද ලේ වැගිරෙමින් මාර්ගයේ වැටී සිටිනු දැක ඇත.පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ සත්ව සායනයක වෛද්‍යවරයා වෙත බැළලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා ඇගේ හිසට දරුණු පහරක් වැදී අභ්‍යන්තරයේ හටගත් දරුණු තුවාල නිසා බැළලිය මියගොස් ඇති බව දැනුම් දී ඇති අතර, පසුව පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.




52 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු වන සැකකරු ඔහුගේ වත්තට පැමිණෙන සතුන්ට පහරදී මරා දැමීම පුරුද්දක් කරගෙන සිටින බවත්, දෙහිවල ප්‍රදේශයේදී මන්නයකින් පහරදී හිමිනමක ඝාතනය කිරීමට කළ උත්සාහයක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බවත් පැවැසේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරි එල්. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)