kesbewa-incident


කැස්බෑව නගරයේදී සිදු වූ අනතුරකින් පසු ප්‍රකෝප වූ නීතිඥවරියක ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් ටිපර්  රියැදුරකුට, පොලිස් සැරයන්වරයකුට දෙනෝ දාහක් දෙනා ඉදිරියේදී පහරදී, අත්අඩංගුවට ගත් සැකකරුවකු බලහත්කාරයෙන් රැගෙන යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිඥවරිය, ඇයගේ සැමියා, පියා සහ නැගණිය ද වන බව පොලීසිය පවසයි. සැකකාර නීතිඥවරියගේ පියා පොල්ගඕවිට දෙස සිට කොළඹ දෙසට ඊයේ (6) උදෑසන 8.45ට පමණ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් නවතා ඇතැයි පොලීසිය කියයි.



එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක් රියැදුරුගේ ග්‍රහණයෙන් මිදී මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී ටිපර් රථ රියැදුරු ද ටිපර් රථයෙන් ද බිමට බැස ඇති අතර, මෝටර් රථයේ රියැදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනකු ද ඒ සමගම මෝටර් රථයෙන් බිමට බැස රියැදුරුට දොස් පවරමින් ඔහු වට කරගෙන ඇති අතර, කාන්තාවන් ටිපර් රථ රියැදුරු අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියැදුරු ඔහුට පහරදී ඇතැයි ද ටිපර් රථ රියැදුරු කළ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලීසිය පවසයි.


එම අවස්ථාවේදී එම ස්ථානයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති අතර, කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයාට ඒ බව සැල වී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව, රථවාහන සැරයන් අංශයේ පොලිස් (67491) චතුරංග මහතාට එම ස්ථානයට ගොස් අවශ්‍ය රාජකාරි කටයුතු සිදු කරන ලෙස උපදෙස් දී ඇත. කැස්බෑව නගරයේ ඇති වී තිබූ රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා අනතුර සිදු වූ ස්ථානයට ගිය පොලිස් සැරයන්වරයා වාහන දෙක ඉවත් කර රාජකාරි කටයුතු කර, ටිපර් රථ රියැදුරුට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු ද,

අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු ද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී, යතුරුපැදියකින් සැමියා සමග පැමිණ සිටි නීතිඥවරිය සැරයන්වරයාගේ නිල ඇඳුමේ කොලරයෙන් අල්ලා “මම ලෝයර් කෙනෙක්. තමුසෙ කොහොම ද මගේ තාත්තාව අරන් යන්නේ? මගේ තාත්තාව තමුසෙට අරගෙන යන්න දෙන්නේ නැහැ." යැයි පවසමින් පරුෂ වචනයෙන් බැණ වදමින්, ආවේගශීලිව හැසිරෙමින්, ජංගම දුරකතනයෙන් පටිගත කරන්නට වූ බව පොලීසිය කියයි.


එම අවස්ථාවේදී අවට සිටි පිරිසගෙන් ද දැඩි විරෝධයක් නීතිඥවරිය ඇතුළු පවුලේ අයට එල්ල වන්නට වූ අතර, අමතර පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වාගෙන සිවු දෙනා පොලීසියට රැගෙන ඒමත් සමග නීතිඥවරියගේ සැමියා සිය මාමණ්ඩිය පොලිස්  අත්අඩංගුවෙන් බලහත්කාරයෙන් මුදා ගෙන රැගෙන යෑමට උත්සාහ දැරූ බව පොලීසිය පවසයි.


එම අවස්ථාවේදී ද පොලීසිය තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබූ අතර, නීතිඥවරිය නැවතත් පොලිස් ස්ථානාධිපති වරයාගේ

නිල කාමරය ඉදිරිපිට දීම සැරයන්වරයාගේ නිල කබාය, බොත්තමක් ද කැඩී යන ආකාරයෙන් ඇද, උදර ප්‍රදේශයට පහරක් එල්ල කිරීමත් සමගම ඇයගේ නැගණිය පිටකොන්ද ප්‍රදේශයට පහරක් එල්ල කර ඇතැයි ද පොලීසිය කියයි.


නීතිඥවරිය ඇතුළු පවුලේ අයගේ පහර කෑමට ලක් වූ ඉංගිරිය අක්කර 18 ප්‍රදේශයේ  පදිංචි 25 හැවිරිදි ටිපර් රථ රියැදුරු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කර ඇත. පොලිස් සැරයන්වරයා අධිකරණ වෛද්‍ය පෝරමයක් රැගෙන කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය පොලිස් නිලධාරියා වෙත ඉදිරිපත් වූ බව උසස් නිලධාරියෙක් පැවැසීය.සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරකු හා වේලා සටහන්කරුවකු ඇතුළු සිවු දෙනකු ඇසින් දුටු සාක්ෂි දුන් බවත් පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් නීතිඥවරිය මීට වසරකට පමණ ඉහතදී දිවුරුම් දුන් නැතැත්තියකි. මඩපාත පොල්හෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24.54 අතර පසු වන සැකකාර නීතිඥවරිය ඇතුළු සිවු දෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ