අඹු සැමියන් අතර ඇති වූ ආරවුලක් විභාග කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ වගඋත්තරකරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහර දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්දුජිත් මහතා අත්අඩංගුවට ගෙන ලබන 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බව කුලියාපිටිය පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පසුගිය 25 වැනිදා සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.කුලියාපිටිය දියදොර පදිංචි කාන්තාවකට ඇගේ සැමියා මරණීය තර්ජනය කරන බවට පවසමින් එම කාන්තාව කුලියාපිටිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඉකුත් 23 වැනිදා පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.
එම පැමිණිල්ල ඉකුත් 24 වැනිදා වගඋත්තරකරු කැඳවා විභාග කරමින් සිටියදී සිද්ධියේ වග උත්තරකරු තමා හමුවට කැඳවාගෙන එන ලෙසට මූලස්ථාන පරීක්ෂකවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට දැනුම් දී ඇත. වගඋත්තරකරු කැඳවාගෙන එන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තමන්ට දැනුම් දුන් බවට ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන පොලිස් පරීක්ෂකවරිය වගඋත්තරකරුට දැනුම් දුන් අවස්ථාවේ ඔහු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවට යෑම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි.
මීට පෙරද පොලිසිය තමන් අත්අඩංගුවට ගෙන සිටියදී මූලස්ථාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතා තමන්ට පහර දුන් බවට වග උත්තරකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. තම අණ නොපිළිපැදීම හේතුවෙන් උරණ වූ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිල්ල විභාග වන ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ
වගඋත්තරකරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහර දීමට තැත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය පොත්පත් වල සටහන් යොදා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය දිස්ත්‍රික් (I) සහකාර පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඉකුත් 24 වැනිදා එම විමර්ශනය කරමින් සිටියදී. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ස්ථානයෙන් පිටත් වන බවට පොත්පත්වල සටහන් යොදා පිටත්ව ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය 25 වැනිදා දිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉහත නියෝගය කර ඇත.කුලියාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
( ඉන්දිකා රාමනායක)
0 Comments