kurunegala-rajasaba-mandapaya

මීට වසර හතරකට පෙර බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා දැමුණු කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය යළිත් එම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.2020 වසරේ ජුලි මාසයේ 14 වැනිදා මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින් කුරුණෑගල මහ නගර සභාව මෙම ඓතිහාසික ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ අරමුණින් කඩා බිඳ දමා තිබිණි.




එම ඓතිහාසික ගොඩනැගිල්ලට හානි කිරීම සම්බන්ධයෙන් එවකට අධිකරණයේ නඩුවක් ද විභාග වූ අතර, එහිදී එම සිදුවීමට වරදකරුවන් වූ එවකට කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු චූදිතයන් සිවු දෙනකු අධිකරණය මගින් බන්ධනාගාරගත කෙරිණි.


මේ පිළිබඳව සඳහන් කරමින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසන්නේ, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇතත්, ඒ සඳහා කුරුණෑගල මහ නගර සභාවේ අනුමැතිය ගත යුතු බවයි. ඊට හේතු වී ඇත්තේ, අදාළ ගොඩනැගිල්ල පිහිටි භූමිය එම නගර සභාව  සතු භූමියක් වීමයි යනුවෙනි.





කෙසේ වෙතත්, මෙම ඓතිහාසික ගොඩනැගිල්ලෙහි මෙතෙක් ඉතිරිව ඇති පරණ කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමූ කොටස පමණක් නැවත ඉදිකරන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය. දහතුන් වැනි සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැලකෙන මෙම ගොඩනැගිල්ල, 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.
(සුනිල් එස්. පැල්ලන්දෙණිය)