lady-ridgway-docter

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී තුන් හැවිරිදි දැරියකගේ කිරීමේ සැත්කමේ දී සිදුවූ බව කියන සිද්ධියකින් මාස 6කට පසු දැරිය මරණයට පත්වූයේ යැයි කියන සිද්ධිය අපරාධයක් බව අනාවරණය වන්නේ නම් සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට ඊයේ (09)  නියම කළේය.




වකුගඩු ඉවත් කිරීමේ සැත්කමේ දී සිදු වූ බව කියන සිද්ධියකින් මාස 06කට පසු මරණයට පත්වූයේ යැයි කියන තුන් හැවිරිදි දැරියකගේ මරණයට අදාළ සිද්ධියේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා සිද්ධියට අදාළව කරන විමර්ශන මඟහරිමින් විදේශගතව සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය. කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු තුනක් වයස හම්දි දැරියගේ වම් වකුගඩුව අක්‍රයවී හේතුවෙන් එය ඉවත් කිරීමට 2022 දෙසැම්බර් 22 වැනිදා කළ ශල්‍යකර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව

දරුවා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.


පශ්චාත් මරණ පරීක්ෂණයේ වෛද්‍යවරයාට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා පැමිණිල්ල ඊයේ කැඳවීය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් කරුණු දක්වමින් දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් මහතාගේ සාක්කිය ‘ස්කයිප්' තාක්ෂණය ඔස්සේ කැඳවීමට නියම කර තිබුණත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ඔහු සාක්ෂි දීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි දැනුම් දුන්නේය. සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මඟහරිමින් සිටින බව පෙනී යන්නේ යැයි රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.


රහස් පොලීසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරයා සාක්ෂියට කැඳවීමට පොලිසිය යම් පියවරක් ගෙන ඇද්දැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාරීන් අධිකරණය නිකුත් කළ නියෝග මීට පෙර අවස්ථාවක ඔහු වෙනුවෙන් මෙම අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් ලබාගත් බවත් ඊට අමතරව අධිකරණය දුන් නියෝගය එරට තානාපති කාර්යාලය හරහා අදාළ වෛද්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළේ යැයි කීය.




අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ළහිරු මාධව වීරසිංහ මහතා කරුණු දක්වමින් සම්පූර්ණ ශල්‍යකර්මය භාරව සිටි වෛද්‍යවරයා මෙම විමර්ශනයේ සාක්ෂිකරුවකු නොව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් සාක්ෂි මේ වන විට මෙම අධිකරණයේ දී අනාවරණය වී ඇතැයි පැවසීය.


එක් වකුගඩුවක් නරක් වී රෝහලට ඇතුළත් කළ දැරිය වකුගඩු දෙකම අහිමිවී මිය ගොස් ඇතැයි පෙන්වා දුන් නීතිඥ ළහිරු මාධව වීරසිංහ මහතා මෙම සිද්ධියට වෛද්‍යවරයා වගකිවයුතු හෙයින් ඔහු විත්තිකරුවකු කළ යුතු යැයිද කීය.


රහස් පොලිසියඇමතු  මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරයා අපරාධයක් කර ඇති බවට හෝ සැකකාරයකු කළ හැකි බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු බාධාවක් නැතැයි පැවසීය.වෛද්‍යවරයා මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකාරයකු කර තිබුණත් ඔහු සැකකරුවකු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව රහස් පොලීසියට ඇති බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා “අපරාධයක් වී ඇත්නම් හෝ සැකකරුවකු ඉන්නව නම් ඔහු අත්අඩංගුවට ගන්න හෝ වරෙන්තු නිකුත් කරන්න අධිකරණයට හැකියාව තියෙනවා. මේ සම්බන්ධයෙන් ඕනෑම නියෝගයක් නිකුත් කරන්න අධිකරණය සූදානම්” යැයි පැවසීය.



ඕස්ට්‍රේලියාවේ පදිංචි බව කියන මෙම සිද්ධියේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට නොවැම්බර් 28 වැනිදා  ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාල නිලධාරීන් ඉදිරියේදී ‘ස්කයිප්' තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමේ හැකියාවක් ඇතැයි කීය.


දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය නොවැම්බර් 28 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමට නියම කළේය.