lawyer-jailed

 ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරිමේ චෝදනාවලට වරදකරු වූ නීතිඥවරයකුට බරපතළ වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (8) නියම කළේය. එක් චෝදනාවකට වසර 4 බැගින් විත්තිකරු වරදකරු කෙරුණු චෝදනා දෙකට වසර 8ක බරපතළ වැඩ සහිත අනිවාර්ය සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, රුපියල් 20,000ක දඩයකට ද විත්තිකරු යටත් කළේය.




වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව නීතිඥභාවය අත්හිටුවා තිබියදී විත්තිකාර නීතිඥවරයා මිය ගිය නීතිඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා, විත්තිකරුට අදාළ සිරදඬුවම නියම කළේය.


නීතිය දන්නා පුද්ගලයන් කරන අපරාධ හේතුවෙන් සමාජය මහත් පිරිහීමකට ලක්වන හෙයින්, මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයන්ට ද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිශාන් රත්නායන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින්, මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ නීතිඥවරයකු වන නිමල් ජයසිරි වීරසේකර නමැත්තාටය.




2013 ඔක්තෝබර් 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී මියගිය නීතිඥවරයකුගේ නමක් යෙදූ ව්‍යාජ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීම, කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.


විත්තිකාර නීතිඥවරයාට එරෙහිව 2015 වසරේදී කොළඹ මහාධිකරණයේ අධිචෝදනා මත නීතිපතිවරයා නඩු පැවැරූ අතර, ඒ සම්බන්ධ නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කළ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිශාන් රත්නායන මහතා කරුණු දක්වමින්,

2011 වසරේදී විත්තිකරුගේ නීතිඥභාවය වසර 1025 කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව අත්හිටුවා තිබියදී, ඔහු, මිය ගිය නීතිඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙම නඩුවට පාදක වූ ඉඩමට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇතැයි පැවැසීය.


නීතිය දන්නා පුද්ගලයන් කරන අපරාධ හේතුවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිශාන් රත්නායක මහතා, මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයන්ට ද පාඬමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා, විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිශාන් රත්නායන මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර