lotus-tower-death-updates

 පෙරේදා (7) දිනයේදී නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් සිසුවිය මීට මාස 3 කට පෙර කොළඹ කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන දිවි නසාගත් සිසුවිය අවසන් වරට පන්තියෙන් පිටව යෑමේදී, ඇය සමග කතාබහ කර, කිහිප වරක් සිප වැළඳ ගෙන ඇති අතර, මෙම සිදුවීමෙන් පසුව ඇය දැඩි කම්පනයෙන් සිටි බවට ඇයගේ පියා පොලීසියට පවසා ඇතැයි වාර්තා වේ.

කුරුඳුවත්ත CIS ජාත්‍යන්තර පාසලේ 11 වසර අධ්‍යාපනය ලබමින් සිටි, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රද්‍යා ගුණසේකර සිසුවිය නෙළුම් කුලුනේ නැරැඹුම් මැදිරියේ සිට තුන්වැනි මහලට ඇද වැටීමෙන් මිය ගියාය.




මිය ගිය සිසුවියගේ පියා ව්‍යාපාරිකයකු වන අතර, ඇයට එකම සොයුරියක් සිටී.ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන පාසල් නිල ඇඳුමෙන් සැරැසී පෙරේදා පස්වරු 2.30ට පමණ නෙළුම් කුලුනට ඇතුළු වී ලොබියේ මඳ වේලාවක් රැඳී සිටි සිසුවිය වැසිකිළියට ගොස් සිය පාසල් නිල ඇඳුම මාරු කර සාමාන්‍ය ඇඳුමක් ඇඳ නෙළුම් කුලුනේ නැරැඹුම් මැදිරියට පැමිණ ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


නැරැඹුම් මැදිරියේ විනාඩි කිහිපයක් රැඳී සිටි ඇය, සිය පාසල් බෑගය, උපැස් යුවල හා සපත්තු යුගල ගලවා පසෙක තබා තත්පර කිහිපයක් තුළදී බිමට පනින අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.මෙම සිද්ධිය වන විට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු සිට ඇති අතර, ඇය බිමට පැන ඇත්තේ ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වන තෙක් බලා සිට ඉන් අනතුරුව බව අනාවරණය වී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අදාළ ස්ථානය නිර්මාණය කර තිබීම හේතුවෙන් ඇය බිමට පැනීම සඳහා යම් පරිශ්‍රමයක් දරා ඇති බව පෙනෙන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.




මේ අතර, සිසුවියගේ මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙනවිත්, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.එම අවස්ථාවට දැරියගේ සමීප ඥාතීන් මෙන්ම නෙළුම් කුලුනේ උසස් නිලධාරීහු ද පැමිණ සිටියහ.අනතුරුව දේහය ඊයේ (8) පස්වරුවේ ඥාතීන් වෙත භාර දුන් අතර, දැරියගේ හදිසි මරණය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා මෙසේ පැවැසීය.


“නව යොවුන් වියේ දරුවෙක් පීඩනයකින් ඉන්නවා කියලා දැනගන්නේ එයාට වෙනදාට වැඩිය තරහා යනවා නම්, වෙනදාට වැඩිය නින්දේ වෙනසක් ඇති වෙලා තියෙනවා නම් සහ ආහාර රුචියේ වෙනසක් ඇති වෙලා වගේම අධ්‍යාපනයේ උනන්දුව අවධානය අඩුයි නම් තමයි. ඒ වගේම වෙනදා ප්‍රසන්නව හොඳින් කතා කළ කෙනෙක් ටිකක් පැත්තකට වෙලා ඉන්නවා නම් අපිට හිතන්න පුළුවන් එයා මානසික පීඩනයකින් ඉන්නවා කියලා.


එහෙම වුණොත් ඔබට කරන්න පුළුවන් ලේසිම දේ තමයි, ඔබ ළඟම ඉන්න එම්.බී.බී.එස්. රජයේ වෛද්‍යවරයකු හමු වෙලා ඊට අවශ්‍ය උපදේශයක් ගන්න එක.වෛද්‍යවරයකු ගාවට යන්න ඒ දරුවා කැමැති වෙන්නේ නැත්නම් ඔබ කරන්න ඕනෑ 1926 ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය දවසේ පැය 24ම දවස් හතම වැඩ කරන දුරකතන අංකයට කතා කරලා පුහුණු හෙද නිලධාරිනියකගෙන් අවශ්‍ය උපදේශයක් ගන්න එකයි."
බිමල් ශ්‍යාමන් ජයසිංහ