පසුගියදා කොළඹ නෙළුම් කුළුණෙන් බිමට පැන ජීවිතය අහිමිකරගත් ‍CIS පුද්ගලික පාසලේ රාධ්‍යා ගුණසේකර නම් සිසුවියගේ දෙමාපියන් එම සිදුවීම ගැන සටහනක් ඔස්සේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඔවුන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් පැතිරුණ බොහෝ කරුණු අසත්‍ය බවය. ඔවුන් කියා සිටින්නේ මාස 3 කට පෙර අල්ටෙයාර් ගොඩනැගිල්ලේ සිදුවූ ඇගේ මිතුරන් දෙන්නාගේ මරණ නිසා ඇය මානසික පීඩාවට ලක්ව ප්‍රතිකාර ලබමින්ද සිටි නමුත් පාසලේ දෙමාපියකු කළ වැරදි ප්‍රචාරයක් නිසා ඇය අවසනාවන්ත ලෙස දිවි අහිමිකරගැන්මේ සිතිවිල්ලකට ගොදුරු වූ බවයි.

අල්ටෙයාර්හිදී පැන්න මිතුරා හා මිතුරිය එසේ පනින බව රාධ්‍යා දැනසිටි බවත් එම දිවිනසාගැනීම් දෙක ඇය සැඟවූ බවත් මේ කාරණා පරීක්ෂණ කරන නිලධාරීන් ඔස්සේ තහවුරු වූ බවත් CIS පුද්ගලික පාසලේ දෙමාපියෙකු පතුරා තිබූ අතර මේ හේතුවෙන් මරණ දෙකක් වළක්වා නොගත්තැයි කියමින් ඇයට දොස් කියන්නට බොහෝ අය කටයුතු කර ඇත.මේ කාරණාව නිසා ඇය කොන්වී සිටි බවද වාර්තාවේ. මිතුරන් අහිමිව මානසික සෞඛ්‍ය ගැටලුවට මුහුණ පාසිටි ඇයට අවසානයේ වෙනත් මිතුරන්ද අහිමිව යාමෙන් පසු ඇතිවූ පීඩනය නිසා ඇය මෙම තීරණය ලබාගෙන ඇති බව රාධ්‍යාගේ දෙමාපියන්ගේ අදහසයි.

ඉංග්‍රීසි බසින් මාධ්‍ය වෙත යොමු කර තිබූ ලිපියේ පරිවර්තනය පහතින්




රාධ්‍යා ගුණසේකර මිය යාමේ අවස්ථා පිළිබඳ වැරදි තොරතුරු සම්බන්ධ ප්‍රකාශය

අප, මිය ගිය රාධ්‍යා ගුණසේකරගේ දෙමාපියන් වශයෙන්, 2024 ඔක්තෝබර් 7 වන දින කොළඹ ලෝටස් ටවර් ගොඩනැගිල්ලේදී සිදු වූ අපගේ ආදරණීය නව යෞවන දියණියගේ අකල් මරණය සම්බන්ධයෙන් දැඩි ශෝකයට පත්ව සිටිමු.

අපගේ දියණිය වෙනුවෙන් ඇප කැප වූ පවුලේ සාමාජිකයන් ලෙස අප මෙම දුක දරාගනිමින් සිටින අතරතුර, අපගේ දියණියගේ යහපත් නාමය ආරක්ෂා කිරීම සඳහා පළ වී ඇති වැරදි තොරතුරු නිවැරදි කිරීමට අප බැඳී සිටී.

මෙම කනගාටුදායක සිදුවීමෙන් පසු ඇයගේ මරණය පිළිබඳ පැතිර ගිය පුළුල් අනුමාන සම්බන්ධයෙන් අප දැඩි කනස්සල්ලට හා කලබලයට පත් වූයෙමු. විශේෂයෙන්ම සමහර මාධ්‍ය ආයතන සහ වෙනත් මූලාශ්‍ර පිළිගත් මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනිව ළමයින් සම්බන්ධ සිදුවීම් ආවරණය කිරීමේ ක්‍රමවේදවලට පටහැනිව ඇයගේ නම සහ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම කනගාටුදායකය.

ඔවුන් ඇයගේ මානසික සෞඛ්‍යය සහ පවුල් සබඳතා ඇතුළු ඇයගේ ජීවිතයේ විවිධ අංශ විකෘති කොට විවේචනය කර ඇත.
ක්‍රීඩා කිරීම, දෙමාපිය පීඩනය, සිසු හිංසනය සහ මත්ද්‍රව්‍ය අපයෝජනය වැනි කරුණු ළමා ආරක්ෂණ සන්දර්භය තුළ වැදගත් මාතෘකා වන අතර, ඇතැම් අය ඒවාට සම්බන්ධ කරමින් අපගේ දියණිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ඇතැම් කරුණු සම්පූර්ණයෙන්ම සනාථ නොකළ, අසාධාරණ, අසත්‍ය සහ අපහාසාත්මක බව පැහැදිලි කිරීම වැදගත් වේ.

කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් ඇයගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය යාමෙන් පසු රාධ්‍යා දැඩි දුකට පත්ව සිටියාය. මෙම තත්ත්වය තුළ, අප මානසික රෝග වෘත්තීය සහය පැතූ අතර ඇය සුව වීමේ මාවතේ සිටි බවට වෘත්තිකයින් සහතික කරන ලදී.

කනගාටුවට කරුණ නම්, ඇය සුව වෙමින් සිටියදී, ඇයගේ පාසලේ සමහර ගුරුවරුන් සහ දෙමාපියන් විසින් හානිකර කටකතාවක් ව්‍යාප්ත කර තිබීමය. ඔවුන් අසත්‍ය ලෙස ප්‍රකාශ කළේ ඇයගේ මිතුරන්ගේ මරණය සිදු වූ දිනයේ ඔවුන් සිටි ස්ථානය ඇය දැන සිටි බවත්, එම තොරතුරු බෙදා නොගැනීමෙන් ඇය එම ඛේදවාචකයට වගකිව යුතු බවත්ය.




එක් දෙමාපියෙක් විශේෂයෙන්, "අල්ටෙයාර් සිද්ධියේ විමර්ශන බලධාරීන්ගෙන්" මෙම "තොරතුරු" ලැබුණු බව ප්‍රකාශ කර අපගේ දියණියට "දඬුවම් කළ යුතු" බව යෝජනා කර තිබුණි. මෙකී අය අනෙක් දෙමාපියන්ට තම දරුවන් රාධ්‍යාගෙන් ඈත් කරන ලෙසටද පොළඹවා ඇති අතර, එමගින් සැලකිය යුතු මානසික පීඩාවක් ඇයට ඇති කර ඇත.
සත්‍ය වශයෙන්ම, දෙමාපිය පීඩනය යටතේ, මෙම නින්දිත කටකතා හේතුවෙන් ඇයට ඉතිරිව සිටි මිතුරන් කිහිප දෙනාගෙන්ද ඇය අනවශ්‍ය ලෙස වෙන් කරනු ලැබීය. රාධ්‍යා මෙයින් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර හුදෙකලා වූවාය.

රාධ්‍යා අවසානයේ මේ කරුණු පිළිබඳව අප සමඟ සාකච්ඡා කළ විට, අප ඇය සහ අපගේ දියණිය හොඳින් දන්නා දෙමාපියන් කිහිප දෙනෙකු හා සම්බන්ධ වූ අතර, ඔවුන් තම දරුවන් ඇය සමඟ ඇති මිත්‍රත්වයෙන් ඉවත් නොකළහ. ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපයේදී රාධ්‍යාට උපකාර කළ දේ සඳහා අපි සිතින්ම ඒ දෙමාපියන්ට සහ දරුවන්ට ආශීර්වාද කරමු.

පැහැදිලි සත්‍යය නම්, අපගේ දියණිය අවසානයේ සමහර දෙමාපියන්ගේ සහ විශේෂයෙන්ම ඇයගේ සුභසාධනය සඳහා වගකිව යුතු සමහර පාසල් ගුරුවරුන්ගේ මානසික හා චිත්තවේගී හිංසනයේ ගොදුරක් බවට පත් වූ බවයි. ඇයව වෙනත් පාසලකට මාරු කිරීමට උත්සාහ කළ විට ඇයගේ ආරක්ෂාව සඳහා, මෙය සියල්ල වැරදී වටහා ගැනීමක් බවත් තත්ත්වය විසඳා ගත හැකි බවත් ඇය අවධාරණය කළාය.

රාධ්‍යා කරුණාවන්ත, දයාවැති , යහපත් සිත් ඇති දරුවෙකු වූ අතර, කිසිවෙකුගේ පොළඹවීමකින් තොරව සෑම සෙනසුරාදා දිනකම විහාරමහාදේවී උද්‍යානය අසල නිවසක් නොමැති පුද්ගලයින්ට ආහාර සැපයීම, අනාථ සතුන් රැක බලා ගැනීම වැනි ක්‍රියා කළාය. ඇය හඳුනන සියලු දෙනාට ආදරය සහ කරුණාව දැක්වූවාය.

කෙසේ වෙතත්, ඇයගේ මරණයෙන් පෙනී යන පරිදි, ඉහත සඳහන් වැඩිහිටි පුද්ගලයින්ගේ හිංසනය නිසා ඇයගේ තරුණ, අවදානම් සිතට ඇති වූ වැරදි වරද පැටවීමේ හැඟීම්, ඇයට දරා ගත නොහැකි වූ අතර, සෑම උත්සාහයක්ම දරමින් ශක්තිමත්ව සිටීමට උත්සාහ කළද, අවසානයේ ඇය ගොදුරක් බවට පත් වූවාය.



රාධ්‍යාගේ පාසලේ හෝ වෙනත් තැනක කිසිදු දරුවෙකු මෙවැනි අපහසුතාවයකට මුහුණ දීම අප අපේක්ෂා නොකරමු. වගකිම් රහිත, අකාරුණික වැඩිහිටියන්ගේ කටකථා සහ අනුමාන මගින් දරුවන්ට සිදුවන භයානක හානිය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට සහ ධනාත්මක නිවාරණ ක්‍රියාමාර්ග සඳහා මෙම පැහැදිලි කිරීමේ ප්‍රකාශය උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
අපගේ දියණිය ආරක්ෂා කිරීමට දැරූ උත්සාහයන්හිදී නොසැලී සහය දැක්වූ රාධ්‍යාගේ පාසලේ විදුහල්පතිතුමියට අපගේ හද පිරි කෘතඥතාවය පළ කරමු.

රාධ්‍යාගේ වටිනා ජීවිතය සහ ඇයගේ ගුණාංග අගය කරමින් හෘදයාංගම ගෞරවය දක්වමින් ලියූ රාධ්‍යාගේ මිතුරන්ට සහ පාඨකයින්ට ද ස්තූතිවන්ත වෙමු. මෙම දුක්බර කාලයේදී එය අපට මහත් සැනසීමක් විය.

අවසාන වශයෙන්, මෙම අතිශයින් දුෂ්කර කාලය තුළ ආදරය, සැලකිල්ල සහ කරුණාව සමඟින් අප වෙත ළඟා වූ සියලු දෙනාට අපගේ අවංක කෘතඥතාවය පළ කරමු. රාධ්‍යාගේ අකාල මරණය අපගේ හදවත්වල පිරවිය නොහැකි හිදැසක් නිර්මාණය කර ඇත.
මෙම අවස්ථාවේදී පවුලක් ලෙස අප දුක දරා ගනිමින් සිටින බැවින්, අපගේ පෞද්ගලිකත්වයට සහ අපගේ දියණියගේ යහපත් නාමයට (මාධ්‍ය ඇතුළුව) ගරු කරන ලෙස ඉල්ලා සිටිමු.

රාධ්‍යා ගුණසේකරගේ දෙමාපියන්