පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටව ඇති බව ප්‍රකාශ වීම හේතුවෙන් මව්පියන් පිරිසක් යළිත් විභාගය පවත්වන ලෙසත්, තවත් මව්පිය පිරිසක් විභාගය නොපවත්වන ලෙසත් ඉල්ලීම් කොට ඇතත් යළිත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම හරහා දරුවන් විශාල පීඩනයකට ලක්වීමක් සිදුවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් දරුවන් පත්වන මානසික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂිත දැනුවත් බවක් ඇති මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පැහැදිලි කර ඇති බවද හෙතෙම පැවැසීය.මේ සම්බන්ධයෙන් සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් මහින්ද ජයසිංහ මහතා මෙසේද කීය.
" පසුගිය 15 වෙනිදා පවත්වන ලද පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවැනි ප්‍රශ්න පත්‍රය පිට වුණාය කියන කාරණාව මත පදනම්ව විශාල ආන්දෝලනයක් රට පුරා නිර්මාණය වුණා.මේ පිළිබඳව අපි ගුරු සේවා සංගමය විදිහට පසුගිය 18 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා දින තුනකට පසුව ස්ථාවරය පැහැදිලි කළා.ඒ වගේම තමයි අපි විභාග කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්නා.
විභාග කොමසාරිස්වරයා විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න තුනක් තමයි පිටව ඇත්තේ කියා. ඔවුන් ගන්න ක්‍රියාමාර්ග පැහැදිලි කර තිබුණා. මව්පියන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර ජනාධිපති අනුර දිසානායක මහතා හමුවී සඳහන් කර ඇත්තේ ප්‍රශ්න තුනක් නොව අටක් කියන කාරණය. ඒ වගේම පක්ෂණවලින් විභාග බලධාරීන් දිගින් දිගටම අවධාරණය කරනවා, ප්‍රශ්න තුනක් බවට. අපි මේ ගැන ඔවුන්ගෙන් වාචිකව විමසද්දී ඉතිරි ප්‍රශ්න පසුගිය අවුරුදුවල ලබාදෙන ලද ප්‍රශ්නයි කියන කාරණය.
කෙසේ වෙතත් දැන් මේක රටේ යම් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රශ්නයක් ලෙස දික්ගැස්සී තිබෙනවා. මව් පියවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටත් ඉන් පිළිතුරු නොමැති විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටත් උද්ඝෝෂණය කළා. ඔවුන්ගේ පැත්තෙන් එය ඉතා සාධාරණ බව අපි හිතනවා. එය යුක්ති සහගතයි. ඔවුන්ට මේ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට විශ්වසනීයත්වය තහවුරු වී නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු විභාග බලධාරීන්ගේ වගකීම තමයි,
ඒ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වසනීයත්වය තහවුරු කිරීම. ඒ වගේම තමයි මෙහි පාර්ශ්ව දෙකක් නියෝජනය වෙනවා. එක් පිරිසක් නැවත විභාගය පැවැත්විය යුතු බවත් තවත් පිරිසක් විභාගය නොපැවැත්විය යුතු බවත් කියනවා. නමුත් නැවත විභාගය පැවැත්වීමේදී අවුරුදු දහයක කුඩා මනසක් ඇති දරුවන්ට විශාල බරක් බවට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. මෙහිදී වෛද්‍යවරයෙකු විසින් මේ ශිෂ්‍යත්වය නිසා දරුවන් මානසික කම්පනයට පත්වීම ඔහුගේ අත්දැකීම් දීර්ඝ ලෙස විස්තරයක් සිදු කළා. ඒ වාගේම මව්පිය දෙපාර්ශ්වයෙන්ම අපිට ගුරු සංගමයක් ලෙසට වාර්තා කරනවා. තවත් පිරිසක් ඉන්නවා විභාගය පැවැත්වීමට එරෙහිව. මේ විභාගය පැවැත්විය යුතුය කියන මව්පියන් අර්ථ දක්වනවා. විභාගය නොපවත්වන්නැයි කියන අය ප්‍රශ්න පත්‍රය ලැබුණු අය කියලා. අපි දක්කා පසුගිය දිනවල මේක දඩමීමා කරගෙන යම් පටු දේශපාලන වුවමනාවක් තිබෙන පිරිසක්,මෙය මෙම ආණ්ඩුවේ වරදක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරමින් සිටිනවා.
මේ විභාගය පැවැත්වීම සිදු කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු එම රජය යටතේයි. විභාගය පැවැත්වීමට අදාළව වත්මන් ආණ්ඩුව වගකිවයුතු නැහැ. මෙය මේ සතියක් පමණ වන ආණ්ඩුව පිට දාන්න හදනවා. ඒ වගේම තමයි මේ සඳහා හසුවී සිටින අය කිසිසේත්ම මාලිමාවට සම්බන්ධතාවක් නැහැ. මේ අයගේ දේශපාලන සබඳතා ඇත්තේ පැවැති ආණ්ඩුව සමගයි. මේ ගැන කලින් පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම දැනට අත් අඩංගුවට ගෙන සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියා ඍජුවම රනිල් වික්‍රමසිංහ සමග සම්බන්ධයි. එසේ තිබියදී මෙම ප්‍රශ්න පත්‍ර ගැටලුවට මාලිමාව සම්බන්ධයි කියන්න උත්සාහ දරනවා.
සම්බන්ධ වුණත් මාලිමාවේ ආණ්ඩුවකින් මෙවන් අය ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නැහැ.
ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් දැඩි සේ අවධානයට යොමු කොට රජය කටයුතු කරනවා. මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා මැදිහත්ව ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්සිටුවීමටත් තීරණය කළා. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කොට දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සාධාරණ විසඳුමක් ලබා දේවි. ඒ වාගේම දරුවන්ගේ මානසිකත්වය ගැන සිතා ඕනෑම තීරණයක් ගත යුතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් විමර්ශන කමිටුවක් පත් කොට තිබෙනවා."මෙම අවස්ථාවට ලංකා ගුරු සේවා සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් රෝහණ රත්නායක ගම්පහ කලාප ලේකම් නිහාල් ප්‍රියශාන්ත සහ මීගමුව කලාප ලේකම් චිත්‍රානි මංචනායක යන මහත්ම මහත්මීහුද ඒක්ව සිටියහ.
0 Comments