maithri-house-trouble

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ, කුරුඳුවත්ත හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවෙස ඉදිරිපිටට පෙරේදා (1) සවස් යාමයේ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ කෑකෝ ගසමින් කලහකාරි ලෙස හැසිරි තදබල ලෙස බැන වැදී පලා ගිය කාන්තාවක අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.




විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතාගේ නිල නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටින පොලිස් සැරයන් වරයකු මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම කාන්තාව පැමිණි සුදු පැහැති මෝටර් රථයේ අංකයද පොලිස් සැරයන්වරයා කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාටද එම කාන්තාව තදබල ලෙස බැන වැදී තිබෙන බව පොලිස් සැරයන්වරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ කෑකෝ ගසමින් කලහකාරී ලෙස හැසිරී බැන වැදී පලා ගිය මෙම කාන්තාව පැමිණි සුදු පැහැති මෝටර් රථයේ අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යොමු කර ඉදිරි විමර්ශන පවත්වාගෙන යන බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)