මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාට අපහාස කරමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඇලවීමට පෝස්ටරයක් මුද්‍රණය කිරීමට දුන්නේ යැයි කියන පුද්ගලයකු සහ ඒවා තැන් තැන්වල ඇලවීමට විවිධ පුද්ගලයන්ට දුන්නේ යැයි කියන අයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.එම දෙදෙනාම කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාලවල උපාධිධාරීහු වෙති. සැකකරුවන් සමග ජංගම දුරකතන තුනක් ද පොලිස් බාරයට ගෙන ඇත. එම පෝස්ටර් නිර්මාණය කර මුද්‍රණය කර දුන් 41 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු වන 27 හැවිරිදි පුද්ගලයා කැලණිය ප්‍රදේශයේදීත් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
කොටුව දුම්රිය ස්ථානය අසලද රේගුව ආසන්නයේද අලුත් කඩේ මහාධිකරණය ආසන්නයේද පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදී ජනාකීර්ණ ප්රදේශවලද මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි පෝස්ටර් රැසක් පසුගියදා අලවා තිබිණැයි කියති.බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොළඹ අපරාධ කොට්ඨාසයට ලිපියක් යොමු කර මේ සිද්ධිය ගැන කඩිනමින් විමර්ශන කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබිණි. මහාධිකරණ විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට මේ ගැන පැමිණිල්ලක් කළේය.
පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කටයුතු ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායම් සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් දුරකතන වාර්තා විශ්ලේෂණ කරමින්ද පුද්ගලික තොරතුරුකරුවන් මගින් තොරතුරු ලබා ගනිමින්ද විශේෂ විමර්ශනයක් කළ බව පොලිසිය කියයි. මෙම අපහාසාත්මක පෝස්ටර් යක්කල ප්‍රදේශයේ මුද්‍රණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.ප්‍රධාන සැකකරු කවුදැයි නිශ්චිතව හඳුනාගෙන නැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments