manusha-e8-visa

E-8 යන වීසා ගිවිසුම හිටපු කම්කරු අමාත්‍යවරයා නීත්‍යනුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සි ආයතනයකට මේ වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බවත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. කෙටිකාලීන වීසා ක්‍රමවේදය යටතේ කොරියාවට යන  ලංකාවේ අය නීතිවිරෝධීව රැඳී සිටියොත් මේ පිරිසටත් රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවට දකුණු කොරියානු රජයෙන් දැනුම්දීමක් කර ඇති බවත්, එබැවින් නීත්‍යනුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කර ගැනීමට සූදානම් නැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.


මේ පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,


“දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය එක්වෙලා දහස් ගණනක ශ්‍රී ලාංකික තරුණ පිරිසකට රැකියා අවස්ථා ලබා දීලා තිබෙනවා. එම රැකියාවලට අමතරව E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. 2019 වසරේ ඉඳන් මෙම රැකියා ලාංකිකයන්ට ලබා ගැනීමට සාකච්ඡා කරලා තිබෙනවා. යම් යම් කරුණු හේතුවෙන් එම සාකච්ඡා නතර වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මාස 5ක කාලයක් සඳහා පමණයි මේ වීසා ලැබෙන්නේ. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා ගියාට බොහොම සුළු වැටුපක් තමයි ඔවුන්ට ලැබෙන්නේ.

යන ශ්‍රමිකයන් යළි ආපහු ඒමේ සම්භාවිතාව ඉතා අඩුයි. එවිට ඔවුන් කරන්නේ වීසා කාලය ඉකුත්ව

ගියත් නීති විරෝධීව රැඳි ඉන්න උත්සහ කරනවා. මේ තත්ත්වය හේතුවෙන් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා කිසිදු රජයක් මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹිලා නෑ. ඒ වගේම තමයි ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයන් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දීලා නෑ. ඒ අනුව කිසියම් අයෙකු මේ රැකියාවලට මුදල් අය කරනවා නම් ඒක නීතිවිරෝධියි.


කොරියානු රජයට යම් යම් කාලවලට ඇතිවන අවශ්‍යතාවන් මත ශ්‍රමිකයන් ලබා  ගැනීමට අවශ්‍ය වෙනවා ඇති. E-8 යන වීසා ක්‍රමවේදය තියෙන්නේ කෘෂිකාර්මික හා ගොඩබිම්, ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළව. මාස 6ක වගේ අදාළ කාල තුළ දකුණු කොර්යාවට ආසන්නයේ තියෙන කාම්බෝජය, චීනය වගේ රටවලින් ගොඩබිම ඔස්සේ ඇව්ත් අදාළ රටවලට ආපහු යනවා. ලංකාව වගේ දුර බැහැර රටකට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න ගියාම ප්‍රායෝගික ගැටලු ඇතිවෙනවා. ඒකයි 2019 ඉඳන් සාකච්ඡා කළත් ක්‍රියාත්මක වුණේ නැත්තේ.


2024 අප්‍රේල් 06 දින මෙරට හිටපු අමාත්‍යවරයෙක් තම පුද්ගලික අභිමාතාර්ථ අනුව ඒ රටට ගිහින් වන්දෝ (Wando) කියන පළාතේ ආණ්ඩුකාරවරයාත් සමග ගිවිසුමක් ගහනවා. මේකට එවකට කැබිනට් අනුමැතිය හෝ වෙනත් කිසිදු අනුමැතියක් අරන් නෑ.

අනුමැතියක් නොමැතිව මේ වගේ පුද්ගලික මැදිහත්වීමක් කළාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිදු වගකීමක් ගන්න බෑ. මේක සමාජගත වෙන්නේ ඇමතිවරයා ගිහින් රැකියා අරන් ආවා. ඒක මේ රජයෙන් නතර කරන්න හදනවා කියලා.


ඇත්තටම වෙලා තියෙන්නේ නීත්‍යනුකූල නොවන ගිවිසුමකට එළඹිලා, වන්දෝ (Wando) පළාතේ ආණ්ඩුකාරවරයා රවටලා නොමග යැව්වට දකුණු කොරියානු රජයට මේ ගැන ආරංචි වෙලා අපි සමග සාකච්ඡා කළා මේ ක්‍රමයට ශ්‍රමිකයන් ගෙන්න ගන්න එපා, ඒ අය විසා නොමැතිව රැඳි ඉන්න හදනවා කියලා. කොරියානු රජයේ යම් ප්‍රමිතියක් තියෙනවා E-9 වීසා යටතේ පසුගිය වසරේ දකුණු කොරියාවට 7500ක් පමණ ගියා, මේ වසරේ මේ වෙනකොට 4000ට අධික ප්‍රමාණයක් ගිහින් ඉන්නවා. මේ වසර අවසාන වෙනකොට 7000ට අධික ප්‍රමාණයක යවන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කණ්ඩායම යන්නේ වසර 4යි මාස 10ක කාලයකට. කෙටිකාලීන වීසා ක්‍රමවේදය යටතේ ගිහින් ලංකාවේ අය නීතිව්රෝධීව රැඳී සිටියොත් මේ පිරිසටත් රැකියා අහිමිවීමේ අවදානමක් තියෙනවා කියලා දකුණු කොර්යානු රජයෙන් දැනුම්දීමක් කරලා තිබෙනවා. ඒක නිසා නීත්‍යනුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නෑ, අපි මේක නැවත සමාලෝචනය කළ යුතුයි කියන තීරණයේ ඉන්නවා. ඊට තව සුළු කාලයක් යයි.




කොරියානු රජය තරහ කරගන්නේ නැතිව අපි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. අපි රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොර්යාවට යන්න මුදල් දෙන්න එපා. කිසිම දිරිමත් කිමක් කරන්න එපා. කවුරුන් හෝ මේ රැකියා සඳහා මුදල් අය කරන්නේ නම් කරුණාකර අපිව දැනුවත් කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීසා ක්‍රමවේදය නීත්‍යනුකූල ක්‍රමවේදයක් නොවෙයි කියලා සමාජයත් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා."
(නවෝද්‍යා පවනි)