marawila-incident

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කර මෙරටට පැමිණ සිටියදී ඝාතනය කළේයැයි කියන ඉඩම් සහ දේපොළ හිමි කෝටිපති ව්‍යාපාරිකයකු වූ සමන් විජේසිරි නමැත්තාට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ අත්පත් කර ගැනීමට ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර දුන්නේ යැයි කියන නීතිඥවරයෙක් රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.



සැකපිට අත්අඩංගුවට ගත් මාරවිල ප්‍රදේශයේ පදිංචි මෙම නීතිඥයා හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පසුගිය 9 දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.
කෝටිපති ව්‍යාපාරිකයකු වූ සමන් විජේසිරි මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අබිරහස් ලෙස ඝාතනය කර ඔහුගේ සිරුර අතුරුදන් කර ඇති බව රහස් පොලීසිය කළ විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී ඇත.



සමන් විජේසිරි මහතා ඝාතනය කර ඔහුගේ සිරුර අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට සැලකෙන පුද්ගලයන් දෙදෙනකු මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු සහ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු ලෙස කටයුතු කරන මෙම කටයුතු කරන මෙම නීතිඥවරයා හමුවීමට ගොස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කරගෙන කෝටිපතියාට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් තුනක් අත්පත් කරගෙන ඇතැයි රහස් පොලිස් පරීක්ෂණවල දී කරුණු අනාවරණය වී ඇතැයි කියති. හලාවත පුත්තලම පාරේ පිහිටි පර්චස් දොළහක ඉඩමක්, හලාවත අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි පර්චස් පනහක ඉඩමක් සහ හලාවත ඉනි ගොඩවෙල ප්‍රදේශයේ පිහිටි පර්චස් විස්සක ඉඩමක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් පවරාගෙන තිබෙන බව රහස් පොලිසිය කළ දීර්ඝ විමර්ශනයකින් පසු කරුණු අනාවරණය කරගෙන ඇත.



 
 කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයා එම වකවානුවේම හමුවීමට ගොස් මෙම ව්‍යාජ ඇටෝනි බලපත්‍රය සකස් කරගෙන තිබෙන බව රහස් පොලීසිය කළ විමර්ශනවල දී තවදුරටත් කරුණු අනාවරණය වී ඇත.

රහස් පොලීසියේ  නීති විරෝධී වත්කම්  විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී සුජීව විජේසිංහ විජේසිංහ මහතාගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ උප පොලිස් පරීක්ෂක ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.නොතාරිස් පනතේ වගන්ති අනුව මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය, ආධාර අනුබල අනුබලදීම කූට ලේඛන සකස් කිරීම යන චෝදනා යටතේ මාරවිල ප්‍රදේශයේ පිහිටි කාර්යාලයේ දී මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සඳහා ගාස්තුව වශයෙන් රුපියල් 5000ක මුදලක් මෙම සැකකරු අය කරගෙන තිබෙන බවද රහස් පොලිසිය කළ විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී තිබේ.මෙම සිද්ධියට සම්බන්ධ යැයි පැවසෙන හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මීට පෙර සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර එම පුද්ගලයා නීතිඥවරයා හමුවීමට පැමිණ මෙම ඇටෝනි බලපත්‍රය ඔහුගෙන් ඉල්ලාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.



මාරවිල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් අසල රැඳී සිටින බවට පවසා නීතිඥවරයා විසින් සකස් කරන ලද ඇටෝනි බලපත්‍රය ඉල්ලාගෙන ගොස් ඇති අතර සැකකාර නීතිඥවරයා තමන් විජේසිරි මහතා කිසිදු දිනක නොමැති බව විමර්ශන වලින් හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අබිරහස් ලෙස ඝාතනය කෙරුණු සමන් විජේසිරි මහතා බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි අයෙකි.
මෙම සිද්ධියට අදාළව තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ
පවත්වාගෙන යයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)