විදේශගතව සිටින රොටුඹ අමිලගේ කොන්ත්රාත්තුවකට අනුව මාතර නාවිමනේදී පොලියට මුදල් ලබාදෙන පුද්ගලයකුව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා ජාතික පාසලක ක්‍රීඩා උපදේශකයකු ලෙස සේවයේ නිරතව සිටි අයකු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
නාවික හමුදා සේවයේ ද නිරතව සිට ඇති මෙම සැකකරු අවුරුදු 34ක් වයසැති මාතර වැලිපිටිය පාරේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
පසුගිය 15 වැනිදා සවස මෙම ඝාතනය සිදුවන අතර වෙඩික්කරු මෝටර් රථයකින් ගොස් ත්‍රිරෝද රථයක සිටි පොලියට මුදල් ලබාදෙන පුද්ගලයාට වෙඩි තබා තිබිණි. මෝටර් රථය පදවා ඇත්තේ ක්‍රීඩා උපදේශක බව විමර්ශනයේදී හෙළිවී තිබේ. වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයෙකි. එම කොස්තාපල්වරයාත් ක්‍රීඩා උපදේශකත් කෑගල්ලේ සැඟව සිටියදී පෙරේදා (22) අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ 15 වැනිදා අලුයම් කාලයේදී ද
පොලියට මුදල් ලබාදෙන පුද්ගලයාව ඔහුගේ නිවෙසේදී ඝාතනය කිරීමට ද උත්සාහ දරා ඇති බවටය. එවර ඔහුට වෙඩි තැබීමට ගොස් ඇත්තේ ක්‍රීඩා උපදේශකවරයා බව ද අනාවරණය වී තිබේ.
මෙම ඝාතනයට යොදාගත් පිස්තෝලය ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් උණ්ඩ 13ක් ද සමඟ තවත් සැකකරුවකු ඊයේ (23) අත්අඩංගුවට ගත්තේය. කැස්බෑවේ ගෝනමඩිත්ත පාරේ කළ වැටලීමකදී ගිනි අවිය සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට හෙළිවී ඇත්තේ මෙම ඝාතනය මෙරට සිට මෙහෙයවා ඇත්තේ රොටුඹ අමිලගේ ප්‍රධාන ගෝලයකු වන මුතූ නමැති අය බවය. මෙම ඝාතනය සැලසුම් කිරීමෙන් අනතුරුව මුතූ නමැත්තා පසුගිය 10 වැනිදා සිය පවුලේ සාමාජිකයන් සමඟ මැලේසියාවට පලා ගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හෙළි කරගෙන ඇත.
(ගයාන් කුමාර වීරසිංහ)
0 Comments