state-ministers-sworn-in-today

හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.මේ පිරිසට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුද ඇතුළත් වෙති. මෙසේ තරග නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු කැබිනට් ඇමතිවරුන්



වන ආචාර්ය ඛන්දුල ගුණවර්ධන, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමලවීර දිසානායක, රාජ්‍ය ඇමතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, පාඨලී චම්පික රණවක, ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න, ගාමිණී ලොකුගේ, සී.වී. විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ඇතුළත් වෙති.


මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන,

නවීන් දිසානායක යන මහත්වරුන් සහ අකිල විරාජ් කාරියවසම්, රංජිත් අලුවිහාරේ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසුවේ මුල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.


මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි.පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායානුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ තම අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ සඳහන් වේ.




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවැසුවේ ඉදිරි මහ මැතිවරණයේදී උගත් තරුණයන්ට අවස්ථාව දීමට තමා තීරණය කළ බවයි. මේ අතර මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. එසේම දේශපාලන පවුල්වලට සම්බන්ධ පිරිස්වල ද අඩුවක් දැක ගත හැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.මේ අතර එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹ තිබුණු බව කී රණවක මහතා නාම යෝජනා ලැයිස්තු සැකසීමේ දී එම ගිවිසුම උල්ලංඝනය වී තිබෙන බව පෙනී යන යන හෙයින් ඉහත තීරණය ගත් බවද ප්‍රකාශ කළේය. එම තීරණය ගත්තේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බවත් අදාල ගිවිසුම උල්ලංඝනය වීම දරා ගැනීමට නොහැකි වීම නිසා බවත් ඔහු සඳහන් කළේය.




එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟ වී තිබෙන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පැවසූවේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා එකඟතාව පළ වී තිබෙන බවයි.කොළඹ දී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.
( අංජුල මහික වීරරත්න )