minuwangoda-incident

බීමත්ව විහිළු කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු අතර විහිළුව වැඩි වී එක් මිතුරෙකු තල්ලු කිර්මෙන් ඇද වැටුණු මිතුරා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරයි.ඕපාත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මොහු පසුගිය 30දා ඕපාත, නැහැල පාර ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන නිවසකට ගොස් ඇත.




එහිදී ඔහුගේ තවත් මිතුරෙකු මත්පැන් පානය කර එම නිවසෙහි සිට තිබේ. මේ අවස්ථාවේදී නිවසට පැමිණි සිය මිතුරාට විහිළු කරමින් ඔහු තල්ලු කර ඇති බවත් එහිදී ඒ අසල තිබූ ඇඳට වැටී ඇති මියගිය මිතුරාගේ හිස බිත්තියේ වැදී ඇතැයි සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. මෙහිදී ඇඳට ඇදවැටුණු මියගිය මිතුරා සිහිසුන් වූ බව දැනගත් එම නිවසේ සිටි පුද්ගලයන් වහාම ඔහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(කීර්ති ප්‍රනාන්දු)