හිසකෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස් කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වන මිනුවන්ගොඩ, මැඩෑමුල්ලේ පදිංචි දොන් තක්ෂිලා ගයාත්‍රි ගුණතිලක ඊයේ (02දා) සිය නීතිඥයන් මාර්ගයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව
රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියෝග කළාය. මිනුවන්ගොඩ පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසද රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියට නියෝග කරන ලදී.මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිද්ධිය වූ ඉකුත් අගෝස්තු මස 30 දින සිට පොලීසිය සහ අධිකරණය මගහරිමින් සිටි අතර, ඇය අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දෙවරක් නියෝග කර ඇත. ඇය ඊයේ(02දා)සවස ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ නීතිඥ සංජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
මෙම ප්‍රධාන සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අදහස් දැක්වූ මිනුවන්ගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක කේ.ජී.කේ. අභයරත්න මහතා මෙම සැකකාරිය මාසයකට අධික කාලයක් අධිකරණ නියෝගද නොසලකා හරිමින් අධිකරණය හා පොලීසිය මගහැර සිටි බවත්, කෙස් කළඹ ගැලවී යාමෙන් අගතියට පත් කාන්තාවගේ වෛද්‍ය වාර්තාවද තවම ලැබී නැති බැවින් මෙම සැකකාරියට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් පැවැසීය.
මෙහිදී සැකකාර රූපලාවණ්‍යාගාර හිමිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ සංජීව හෙට්ටිආරච්චි මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින්, රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වන තම
සේවාදායිකාවට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසත්, කෙස්කලඹ ගැලවී යාමෙන් අගතියට පත් කාන්තාව හට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ලබාදීමට කැමැති බවත් අධිකරණයට පැවැසීය.
(කීර්ති ප්‍රනාන්දු)
0 Comments