mirihana-woman-nabbed

මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ, දෙල්කඳ, උඩහමුල්ල, මාදිවෙල, ප්‍රගතිපුර වැනි ප්‍රදේශයන්වලට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි බව කියන තරුණියක රුපියල් තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 200 බරකින් සමන්විත වූ කුඩාවට ඔතන ලද හෙරොයින් පැකට් 160ක් සමග පෙරේදා (22) නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.




ගල්කිස්ස, බඩෝවිට වත්ත ප්‍රදේශයේ ස්ථානයක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙනවිත් නුගේගොඩ නගරයට තදාසන්න ප්‍රදේශවල බෙදා හරින බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් (54478) වසන්ත නිලධාරියාට ලද තොරතුරක් මත විමර්ශන කරමින් සිටියදී නුගේගොඩ, දෙල්කඳ, හයිලෙවල් මාර්ගය ආසන්නයේ අදාළ කාන්තාව ගැනුම්කරුවකුට ලබාදීම සඳහා හෙරොයින් මත්කුඩු කුඩාවට ඇසුරුම් කරන ලද පැකට් බාහාලු ප්ලාස්ටික් ඇසුරුමක් සන්තකයේ තබාගෙන රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම ස්ථානයට ගොස් සැකකාර තරුණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.


අත්අඩංගුවට පත් සැකකාර තරුණිය රාහුලපුර,

මාදිවෙල ප්‍රදේශයේ පදිංචි (25) වැනි වියේ පසුවන අවිවාහක කාන්තාවක බවත්, ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයෙන් රැගෙන එන මත්කුඩු කුඩා පැකට්ටු ලෙස සකසා බෙදා හැරීමේ කටයුතු වල නිරතව ඇති බවත් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවසීය.සැකකාර තරුණියගේ වැඩිමහල් සොහොයුරාද මෙවැනිම ආකාරයෙන් හෙරොයින් බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධව කටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට පත්ව සිටින සැකකාර තරුණියට මත්කුඩු ලැබෙන ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.සැකකාරිය ( 23 ) වන දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)