monday-passport

 ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය එළඹෙන සෙනසුරාදා දිනයේදී මෙරටට ලැබෙන බවත්, ඒ අනුව සඳුදා සිට නව විදෙස් ගමන් බලපත්‍ර බෙදාහැරීම සිදුකරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.




එමෙන්ම ඊ-පාස්පෝට් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බවත්, උසාවි නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊයේ (15දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.




කෙසේ වෙතත් මේ වන විට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේදී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
( නවෝද්‍යා පවනි)