ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතුව සිටියදී රෝගාතුරව මිය ගිය බව කියන සිය දියණියගේ දේහය වහා මෙරටට ගෙනවිත් දෙන ලෙස කොස්ගොඩ, වතුරවෙල පදිංචි ඇගේ මවුපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.එම ප්‍රදේශයේම පදිංචි ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතුව සිටි ඉගලගේ නදීෂානි දිසානායක (25) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ නදීෂානි ගේ වැඩිමහල් සහෝදරිය වන කුමුදුමාලි දිසානායක මෙසේ පැවසුවාය.
“නංගි 2023 අප්‍රේල් මස 10 වැනිදා ජෝර්දානයට ගියා. ඇය එහි ඇඟලුම් කම්හලක සේවයට ගියේ මෙරට විදේශ රැකියා ආයතනයක් හරහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ද ලියාපදිංචි වීමෙන් අනතුරුවයි. නංගී විදේශගත වූයේ දෙමාපියන් රැකබලා ගැනීමට හා ඉදිකිරීම් වැඩ අතරමග නවතා දමාඇති නිවසේ ඉදිකිරීම් මුළුමනින්ම නිම කිරීමේ අරමුණ ඇතිවයි. මෙලෙස ජෝර්දානයට ගිය නංගි සැප්තැම්බර් 28 වැනිදා මට දුරකථනයෙන් කතා කොට පවසා සිටියේ තමන් අසනීප තත්ත්වයෙන් සිටින නිසා ලංකාවට ඒමට අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කර ඇති බවත් ඒ අනුව ළඟදීම ලංකාවට එන බවයි.
එහෙත් සැප්තැම්බර් මස 29 වැනිදා නංගි සේවය කළ ඇඟලුම් කම්හලේම සේවය කරන ඇයගේ මිතුරියක් මා හට කතා කොට පවසා සිටියේ නංගි මිය ගිය බවයි. මේ දැනුම් දීමත් සමගම මම නංගි විදේශගත වූ විදේශ රැකියා ආයතනයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ පිළිබඳව දැනුම් දුන්නා.”
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඇගේ නිවසින් දැනුම්වත් කිරීමක් ලැබුණු බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු කරන බවත්ය.
එම්.සුසිල් ප්‍රියන්ත
0 Comments