nittambuwa-incident

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමග මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර, එම දරුවා තරුණයා අසල තනි කර දමා, තරුණයාගේ ජංගම දුරකතනය ද සොරාගෙන, පලා ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.


නිට්ටඹුව වතුපිටිවල නගර සීමාවේ පිහිටි තරුණයාගේ නේවාසික කාමරයේ සිය අත දරුවා තනි කර දමා මෙම තරුණ කාන්තාව අලුයම් කාලයේ පලා ගොස් ඇති බව පොලීසිය කියයි.තරුණයා පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹ නගරයට ගොස් සිටියදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඔහුට මෙම තරුණ කාන්තාව මුණගැසී හඳුනාගෙන ඇත.

එහිදී දෙදෙනා ඔවුන්ගේ ජංගම දුරකතන අංක හුවමාරු කරගෙන ඇති බව ද, දින කිහිපයකදී දෙදෙනා පෙම්වතුන් වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.


මෙම කාන්තාව සිය දරුවා ද රැගෙන නිට්ටඹුව වතුපිටිවල පිහිටි තරුණයාගේ නේවාසික කාමරයට ඉකුත් 18 වැනිදා පැමිණ ඇති බව ද, තරුණයා සමග දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඇති ඇය, සිය දරුවා තරුණයා අසල තනි කර දමා, තරුණයාගේ ජංගම දුරකතනය ද සොරාගෙන,

අලුයම් කාලයේ පලා ගොස් ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.ඇය සිය දරුවා තනි කර දමා පලා ගිය දින සිට ඇයගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බව ද තරුණයා මේ පිළිබඳව පොලීසියට කළ ප්‍රකාශයෙහි දැක්වේ.


ඇය දරුවා රැගෙන යාමට පැමිණෙනු ඇතැයි සිතා තරුණයා සිය රැකියාවට ද නොගොස් දරුවා ආරක්ෂා කරගෙන නේවාසික කාමරයේම රැඳී සිට ඇත.මේ අතර, මවක හෝ කාන්තාවක නොමැතිව නේවාසික කාමරයක දරුවකු සහ තරුණයකු සිටින බවට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ද තොරතුරු ලැබී,

එම නිලධාරිනිය තරුණයාගේ කාමරයට ගොස් දරුවා පිළිබඳව තොරතුරු විමසා, දරුවා පරීක්ෂා කර බලා, පිටව ගොස් ඇති බව ද පොලීසිය කියයි.


දරුවකු සමග තරුණයකු පමණක් කාමරයක සිටින බවට අංක 119 දුරකතනය ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් පුද්ගලයකු විසින්කරන ලද දැනුම්දීමකට අනුව ඉකුත් 8 වැනිදා නිට්ටඹුව මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයාගේ නේවාසික කාමරය සොයා ගොස්, තරුණයා සමග අත දරුවා පොලිස් භාරයට ගෙන ඇත.නිට්ටඹුව ඕර්චඩ්වත්ත ග්‍රාමයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයා වතුපිටිවල නගරයේ නේවාසිකව රැඳී සිටිමින් අලව්ව නගරයේ පිහිටි කොසු ඉදල් නිපදවන වැඩපලක සේවය කරන්නකු බව ද පොලීසිය කියයි.තරුණයා සහ දරුවා ඊයේ (9) දහවල් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව සිටියහ.
(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)