pannipitiya-incident

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇදවැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, පන්නිපිටිය, හිරිපිටිය බෝගහවිල පාර අංක 35 / 08/ Bහි පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති(41)හැවිරිදි දෙදරු පියෙකි.


මෙම පුද්ගලයා වර්ෂාවත් සමග නිවසේ ඉහළ මහලයේ වහලයෙන් වූ ජල කාන්දුවක් හේතුවෙන් එම ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිර්ම සඳහා තනිවම වහලයට නැග, එය සවි කරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් නිවෙස් දෙකක් අතර අඩි නවයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී මෙම අනතුරට ලක්ව තිබේ.



පසුව යාබද නිවසේ කාන්තාවක පිටුපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිර්පිට යාබද නිවසේ පුද්ගලයා වැටී සිටිනු දැක ඔහුගේ බිරිඳට දන්වා ඇති අතර, අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇතත්, වෛද්‍යවරුන් පක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.


ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට, මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කරන ලදී.

පසුව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාර් පනීත සෙනෙවිරත්න මහතා, මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට, ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව, මෙම මරණයට හේතුව උසක සිට පහළට වැටීමෙන් මොළයට හා සුසුම්නාවට සිදුවූ බරපතළ තුවාල බවට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.


සිද්ධිය වූ ස්ථානයේ වහලයේ තිබී බැටරියකින් පණ ගැන්වෙන ඩ්‍රිල් යන්ත්‍රයක් හා අනතුරට ලක්වූ පුද්ගලයා වැටී සිටි ස්ථානයේ තිබී මිටියක් හා හිස් වැසුමක් පොලිස් නිලධාර්න් සොයාගෙන ඇති අතර, වහලය මත සිටියදී පය ලිස්සා අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත පො.කො. (103932) වෙලගම යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)