papiliyana-child-home-incident

පැපිලියාන පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් පැමිණි පොලිස් කණ්ඩායමකට සිද්ධියෙන් කෙටි වෙලාවක් තුළ මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අළුබෝමුල්ල පබුණුගම පදිංචිව සිටි පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ සික්කු හේවගේ පියදාස ඩයස් නමැති 80 හැවිරිදි දෙදරු පියෙකි. මුරකරු නින්දේ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

දාහත් හැවිරිදි ප්‍රධාන සැකකරු වූ එම ළමා නිවාසයේ තවත් 16 හැවිරිදි පිරිමි දරුවකු මෙම අපරාධය සඳහා සහභාගී කරගෙන ඇතැයි ද අනාවරණය වී ඇත. ප්‍රධාන සැකකරු එම ඝාතනය පිටස්තර පුද්ගලයකු සිදු කළ බව ඇඟවීම සඳහා ඔහු නවාතැන් ගෙන සිටින කාමරයේ දොර විවෘත නොකර ජනේලයේ යකඩ රාමුව ගලවා එයින් පිටතට පැන අනෙක් දරුවා සමග මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය කියයි.මෙම ඝාතනය සිදුකර කාටත් හොර රහසේ මළ සිරුර මෙට්ටයක ඔතා ගැට ගසා එම මධ්‍යස්ථාන භූමියේ තිබෙන ළිඳ අසලට රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

මළ සිරුර පිටතට රැගෙන යාමේදී එම ශාලාවේ දොර වැසීමට ද එම පිරිමි ළමුන් දෙදෙනා කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.එම ඝාතනයෙන් අනතුරුව ප්‍රධාන සැකකරු ඒ ආසන්නයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන  ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආසන්නයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.



සොරාගත් ත්‍රීරෝද රථය පසුපස හඹා ආ හිමිකරු ඇතුළු පිරිසක් එය රැගෙන ආ පුද්ගලයා සෙවීමේදී සැකකාර සිසුවා ළමා මධ්‍යස්ථාන භූමියට දිවවීත් ඇති අතර සොයා ගැනීමට නොහැකි වූ තැන ඒ බව පොලිසියට පැමිණිලි කළහ. එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මධ්‍යස්ථානය අසලට ඊයේ අලුයම ගොස් ඇති අතර ප්‍රධාන කළමනාකාරවරිය පොලිස් නිලධාරීන් බව නොදැන ගේට්ටුව විවෘත නොකර උඩු මහලේ සිට ඔවුන් අමතා ඇයි දැයි කරුණු විමසා ඇත. ත්‍රීරෝද රථයක් සොරාගත් අයකු මධ්‍යස්ථානය තුළට දිව ආබවට තොරතුරු ලැබුණ හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂ කිරීම සඳහා පැමිණි බව පොලිසිය පාලිකාවට දන්වා ඇත.

ප්‍රධාන ශාලාවේ සිටින දරුවන් පිටතට ගැනීම සඳහා නොහැකි බව දන්වා ඇත. ප්‍රධාන ශාලාවට පිටතින් අගුළු දමා ඇති බවත් මුරකරු නොමැති බවත් එහි තවත් සේවකයකු පාලනාධිකාරියට දන්වා ඇත.

අනතුරුව එහි ඉබියතුරු කඩා දරුවන් පිටතට ගත් කළමනාකාරවරිය සහ ප්‍රධාන පාලකවරිය මුරකරු සොයා බැලුවත් මුරකරු හමුවී නැත. මඳ වේලාවකදී එක් දරුවෙකු කළමනාකාරිනිය හමුවට පැමිණ “මැඩම් අම්මා” “මැඩම් අම්මා” අංකල් ඉන්නවා, අංකල් ඉන්නවා යැයි කෑ ගසමින් පවසා ඇති අතර කළමනාකාරිනිය ළිඳ අසලට ගොස් බැලීමේදී ඝාතනය කළ මුරකරු මෙට්ටයක ඔතා ගැට ගසා තිබූ බව කළමනාකාරිනිය පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන්ය.



අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ දරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකාර පිරිමි ළමුන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් දීර්ඝ ලෙස තවදුරටත් ප්‍රශ්න කිරීමේදී වයෝවෘද්ධ මුරකරු නිරතුරුවම අවවාද ලබා දෙන බැවින් එය කරදරයක් නිසා ඔහු ඝාතනය කර බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ බවත්, ඒ සඳහා ත්‍රීරෝද රථය සොරා ගත් බවත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.මෙම ඝාතනය සඳහා තවත් ළමයින් සම්බන්ධ දැයි සොයා බලන බවත් පොලිසිය කියයි.